උසස් පෙළ පිටවූ ප්‍රශ්න පත්‍රය ගැන ‘හෙළි කළ ගුරුවරයාට’ දැන් තර්ජන

උසස් පෙළ ‘තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය’ ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය අවසන් වීමට පෙර මීගමුව ශාන්ත මරියා විදුහල්පති පියතුමා අතට එම ප්‍රශ්න පත්‍රය පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් විමර්ශන නිලධාරීන්ට ලබාදුන් ප්‍රකාශය වෙනස් කරන ලෙස මේ වන විට තර්ජන හා බලපෑම් එල්ලවන බව එම විදුහලේ ගුරුවරයා පොලිසියට හා විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.

මෙම පැමිණිල්ල කර ඇත්තේ වසන්ත මාරසිංහ නම් එම විදුහලේ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය විෂයය උගන්වන ගුරුවරයායි.

එම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් විදුහලේ විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ පියතුමා දුරකථනයෙන් විමසා තිබුණේ මෙම ගුරුවරයාගෙනි. පියතුමා තමන්ගෙන් කළ විමසීම පිළිබඳව ගුරුවරයා විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශයක් ලබා දී තිබූ අතර ඔහුට බලපෑම් එල්ල වී ඇත්තේ දුරකථනයෙන් කතා කළේ පියතුමා නොව ශිෂ්‍යයෙක් හෝ වෙනත් තැනැත්තෙක් යනුවෙන් එම ප්‍රකාශය වෙනස් කරන ලෙසටයි.

එම ප්‍රකාශය වෙනස් කරන ලෙස බල කරමින් තමන්ට දිගින් දිගටම දුරකථන ඇමතුම් ලැබෙන බවට ද එම ගුරුවරයා විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.

මෙම ප්‍රශ්න පත්‍රය සම්බන්ධ ගැටලුව ඇතිවූයේ ඉකුත් 14 වැනිදායි.

එනම් එදින සවස 1.00ට ආරම්භ වූ තර්ක ශාස්ත්‍රය විෂයයට අදාළ විභාගය පැවැත්වෙන අතරතුර එම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් පිළිබඳව ජයන්ත වික්‍රමසිංහ පියතුමා වසන්ත මාරසිංහ ගුරුවරයාගෙන් විමසීමෙන් පසුවයි.

සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ විභාග දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *