අවුරුදු 63 කට පෙර අයින්ස්ටයින්ගේ මොළය සොරාගත් හැටි

ලොව හොඳම මොළය විය හැක්කේ කාගේ මොළයද? මෙහිදී හොඳම මොළය යනු කවර වර්ගයේ මොළයක් ද යන ප්‍රශ්නය හටගනී. සාමාන්‍ය තලයේදී හොඳම මොළයක් යනු වැඩිම දත්ත ගබඩාවක් මතක තබාගත හැකි, ගණිත ගැටලු සහ සමීකරණ වැඩිම ප්‍රමාණයක් ක්‍ෂණිකව විසඳිය හැකි මොළයකි. ඒ අනුව ග්‍රීක ගණිතඥ ආකිමිඩිස් (ක්‍රි. පූ. 287-212) ගේ මොළය හොඳම මොළයකි. ක්‍රි. ව. 1473 සිට 1543 දක්වා පෝලන්තයේ ජීවත් වූ පුනරුද යුගයට අයත් ගණිතඥයකු සහ තාරකා විද්‍යාඥයකු වූ නිකුලස් කොපර්නිකස්ගේ මොළය හොඳ මොළයකි. ගුරුත්වය පිළිබඳ නියමය සොයාගත් බ්‍රිතාන්‍ය ජාතික ගණිතඥ අයිසෙක් නිව්ටන්ගේ (1643 – 1727) මොළයද ඉහළම තත්ත්වයේ මොළයකි.

මේ සියලූ හොඳම මොළ ඒවායේ අයිතිකාරයන් මියයෑමෙන් පසු ඔවුන් සමඟම මිහිදන් විය. එහෙත් සාපේක්‍ෂතාවාදය ලොවට හඳුන්වා දුන් ජර්මන් ජාතික ඇල්බට් අයින්ස්ටයින්ගේ මොළයට එවැනි නිදහසක් ලැබුණේ නැත. 1955 ජනවාරි 15 වැනිදා අයින්ස්ටයින් ඇමෙරිකාවේ නිව් ජර්සි නගරයේ මියයෑමත් සමඟම ඔහුගේ හිස්කබල පලා මොළයත්, ඊළඟට ඇස් දෙකත් සොරාගන්නා ලදී. මිනිසුන්ගේ අවයව සොරා ගැනීම මෙයට අවුරුදු 50 කට පෙර නොතිබුණ නමුත් අද ඉතාම ප්‍රසිද්ධ කොල්ලයකි. එම අවයව සොරා ගත්තේ ධනවත් රෝගීන්ට බද්ධ කරනු පිණිසය. එහෙත් අදටත් කාගේවත් මොළය සොරකම් කරනු නොලැබේ. ලෝක ඉතිහාසයේ මොළය සොරකම් කරනු ලැබීමට ලක් වූ එකම මිනිසා ඇල්බට් අයින්ස්ටයින් ය.

මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් මියයන්නේ 1955 ජනවාරි 15 වැනිදා අලුයම 1.15 ට පමණ ය. ඉන්පසු Thomas Stolts Harvey නමැති ව්‍යාධිවේදී වෛද්‍යවරයාට මරණ පරීක්‍ෂණය සඳහා අයින්ස්ටයින්ගේ සිරුර භාර කරන ලදී. මරණයෙන් පැය හතකට පසු අයින්ස්ටයින්ගේ සිරුර කැපීම පටන් ගන්නා ලදී. ඉන්පසු මළ සිරුරේ හිස් කබල ඉවත් කළ වෛද්‍ය හාවි මොළය ඉවතට ගත්තේ ය. විසිවැනි සියවසේ විශිෂ්ටතම මොළය අතට පත් වූ සැණින් හාවි තුළ මහත් සතුටක් හට ගත්තේය. ඒ ඇල්බට් අයින්ස්ටයින් මෙතරම් දක්‍ෂ ගණිතඥයකු වූයේ කෙසේ ද යන්න ඔහුගේ මොළයේ ස්නායු ව්‍යච්ඡේදනය කර සොයා ගැනීමට දොස්තර හාවි කල්පනා කළ බැවිණි. මෙහිදී හාවි මුලින්ම කළේ මොළය කිරා බැලීමය. එහි බර ග්‍රැම් 1230 ක් විය. සාමාන්‍යයෙන් මනුෂ්‍යයකුගේ මොළය ඔහුගේ හෝ ඇයගේ ශරීරයේ මුළු බරින් 2% කි. එනම් සාමාන්‍යයක් වශයෙන් ගත් කල ග්‍රැම් 1300 – 1400 අතර ගණනකි. (අලියකුගේ මොළයේ බර ග්‍රැම් 6000 කි. පූසකුගේ ග්‍රැම් 30 කි.) මිනිස් මොළයක නියුරෝන බිලියන 86 ක් තිබේ. (බූවල්ලකුගේ මොළය සතු නියුරෝන ගණන බිලියන 5 කි. මෙයින් තුනෙන් දෙකක්ම පිහිටා ඇත්තේ බූවල්ලාගේ අඬුවලය)

අයින්ස්ටයින්ගේ මොළය සාමාන්‍ය මිනිසකුගේ මොළයට වඩා ග්‍රැම් 170 ක් පමණ බරින් අඩු බව දුටු දොස්තර හාවි පුදුමයට පත් විය. අයින්ස්ටයින්ගේ මතක ශක්තිය සහ මොළයේ ක්‍රියාකාරීත්වය ගැන දැන සිටි දොස්තර හාවි මුලින්ම අපේක්‍ෂා කළේ මෙයට වඩා බරින් වැඩි සුවිශාල මොළයක් දැකීමය. කෙසේ වුව ද මොළයට අමතරව අයින්ස්ටයින්ගේ ඇස් දෙක ද ඉවත් කරගත් හාවි වැඩිදුර පරීක්‍ෂණ සඳහා එම දෙඇස් අක්‍ෂි ශල්‍ය වෛද්‍යවරයකුට භාරදී මොළය පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලයට රැගෙන ගොස් ඉතා ප්‍රවේශම් සහගත ලෙස පර්යේෂණාගාරයක් තුළ තැන්පත් කළේය.

ඉන් ස්වල්ප දිනකට පසු රහසේම පර්යේෂණාගාරය තුළට ගිය දොස්තර හාවි අයින්ස්ටයින්ගේ මොළය පිටතට ගෙන තියුණු සැත් පිහියකින් එය දෙකට කපා වෙන් කළේය. ඉන්පසු තමා වෙනුවෙන් එක් කොටසක් වෙන්කරගෙන එයට ෆෝමලින් 50% ද්‍රාවණය එන්නත් කළේය. ඊළඟට එය ෆෝමලින් 10% ද්‍රාවණය අඩංගු බෝතලයක් තුළ තැන්පත් කළේය. මොළයේ ඉතිරි කොටස කුඩා කැබලි 240 කට කපන ලදුව ලොව පුරා සිටි ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ට සහ ව්‍යාධිවේදීන්ට යවන ලදී. ඒ පර්යේෂණ සඳහාය. මේ එක කැබැල්ලක් වර්ග සෙන්ටිමීටරයකටත් වඩා කුඩාය. මේ කැබලිවලින් සොරාගත් කොටස් කිහිපයක් ප්ලාස්ටික් හා සමාන විනිවිද පෙනෙන කුඩා තහඩුවලට මැදිකර සංරක්‍ෂණය කරන ලදී. මේ කොටස් අදටත් ඇත. එසේම මෙහි මුලින් සඳහන් කළ පරිදි අයින්ස්ටයින්ගේ ඇස් ද හොර රහසේම ඉවත් කරගෙන ඔහුගේ අක්‍ෂි ශල්‍ය වෛද්‍යවරයා වූ හෙන්රි ආබ්‍රාම්ස්ට ලබා දී තිබිණ.

අයින්ස්ටයින්ගේ මොළය සහ ඇස් දෙක ඉවත් කර ගැනීම බෙහෙවින්ම චර්යා විරෝධී සිද්ධියකි. මන්දයත් ඒ සඳහා අයින්ස්ටයින්ගේ අන්තිම කැමැත්ත මගින් හෝ ඔහුගේ ඥාතීන් විසින් හෝ දොස්තර හාවිට කිසිදු බලයක් දී තිබුණේ නැත. එහෙත් ඒ කටයුත්ත ගොඩදා ගැනීමට දොස්තර හාවිට හැකි විය. ඒ අයින්ස්ටයින්ගේ මොළය ඉවත් කර ගැනීම සඳහා කැමැත්ත ප්‍රකාශ කරන පූර්ව දාතම යොදන ලද ලිපියක් ඔහුගේ පුත්‍රයා වූ හාන්ස් ඇල්බට් අයින්ස්ටයින් වෙතින් ලබා ගැනීමය. එහෙත් එය කූට ලේඛනයක්ය යන මතයක් ද පවතී.

මොළය කැබලිවලට කැපීමට පෙර වෛද්‍ය හාවි එහි පින්තූර 14 ක් ගත්තේය. සාමාන්‍ය මනුෂ්‍යයකුගේ මොළයෙහි තිබෙන Frontal Operculum නමැති කොටස අයින්ස්ටයින්ගේ මොළයෙහි නොවූ බව වෛද්‍ය හාවිගේ වාර්තාවෙහි ඇත. 1999 දී අයින්ස්ටයින්ගේ මොළයෙහි ඡායාරූප අධ්‍යයනය කළ කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ Mcmaster විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් කියන අන්දමට එම කොටසට අයත් වෙනත් මනුෂ්‍යයන්ගේ මොළයෙහි ඉදිරිපස කොටසට අයත් Inferior Frontal Gyrus නමැති ප්‍රදේශයෙහි පිහිටිය යුතු Operculum කොටස අයිස්න්ටයින්ගේ මොළයෙහි පිහිටා නැත. එබැවින් එම කොටසෙහි පිහිටි නියුරෝන ඉතා නිදහසේත් කාර්යක්‍ෂමවත් ක්‍රියා කර ඇත. මේ අතර මනුෂ්‍ය මොළයේ සංඥා හුවමාරුවට මහත්සේ දායක වන්නා වූ Glial Cell නමැති ෙසෙල වර්ගය වෙනත් අයකුගේ මොළය සමඟ සසඳන කල අයින්ස්ටයින්ගේ මොළයෙහි විශාල වශයෙන් තිබූ බව ද හෙළි විය. මෙයට අමතරව මනුෂ්‍යයාගේ උගත්කමට, ස්මරණ ශක්තියට, හැඟීම්වලට සහ අරමුණ ඇසිරවීමට දායක වන (මොළයේ) කොටස වන hippocampus ප්‍රදේශය අයින්ස්ටයින්ගේ මොළය අන් අයගේ මොළය තුළ ඇති එම කොටසට වඩා සුවිශාල කාර්ය භාරයක් සිදුකර තිබූ බව හෙළිවිය. එකී hippocampus ප්‍රදේශයේ වම් පැත්තේ තිබූ නියුරෝන දකුණ පැත්තේ තිබූ නියුරෝනවලට වඩා විශාල විය. මේ කරුණුවලට අමතරව අයින්ස්ටයින්ගේ මොළය සෙසු මනුෂ්‍යයන්ගේ මොළයෙන් සහමුලින්ම වාගේ වෙනස්වන ජීව විද්‍යාත්මක කරුණු රැසක් තිබේ. එවැනි කාරණා මෙබඳු සාමාන්‍ය කියැවීමකට ගෝචර වන්නේ නැත.

ඇල්බට් අයින්ස්ටයින් මියයන්නේ 1955 දී ය. මෙහි මුලින්ම සඳහන් කළ පරිදි ඔහුගේ මොළය කොල්ලකන්නේ ඔහුගේ මරණයෙන් පැය 7 කට පසුවය. එයිනුත් අවුරුද්දකට පසු ව්‍යාධිවේදී දොස්තර හාවිගේ රස්සාව නැති විය. මේ වනවිට මොළ කැබලි සහිත වීදුරු බෝතල් දෙකක් හාවිගේ ගෙදර තිබුණි. දිනක් ඔහුගේ බිරිඳ මේ මොළ කැබලි සහිත බෝතල් දෙක පොළොවේ ගසා කුඩු කරන බවට තර්ජනය කළාය. තැතිගත් හාවි ඒ වනවිටත් තම පරම ධනය වූ වීදුරු බෝතල් දෙක රැගෙන කැන්සාස් ප්‍රාන්තයට පැන ගියේය. එහිදී ඔහු ජීවත් වූයේ කුඩා කාමරයක, හුදෙකලාවය. එම කාමරයේ වූ කුඩා ලී පෙට්ටියක් තුළ බෝතල් දෙක තැන්පත් කළ ඔහු ඒ පෙට්ටිය මත ශීතකරණයක් තැබීය. ඉන්පසු ඔහු ගත කළේ අප්‍රකට ජීවිතයකි. ඔහු විසූ කුඩා කාමරයට අල්ලපු වැටේ අපූරු මිනිසෙක් ජීවත් විය. ඒ වූ කලී පශ්චාත් නූතනවාදියකු වූ විලියම් බරෝස් ය. විලියම් බරෝස් සමඟ මත්පැන් පානයට පුරුදු වූ හාවි දිනක් අයින්ස්ටයින්ගේ මොළයේ කතාව විලියම් බරෝස්ට කීවේය. ඉන්පසු තම මිතුරන් සමඟ විනෝදවන හැම වතාවකම විලියම් බරෝස් කීවේ තමන් කැමැති ඕනෑම විටක අයින්ස්ටයින්ගේ මොළ කැබැල්ලක් ලබාගත හැකි බවය.

අයින්ස්ටයින්ගේ මරණයෙන් අවුරුදු 23 ක් ගතවන තුරුම ඔහුගේ මොළයේ විශාලතම කොටස හාවි සතුව තිබෙන බව කවුරුවත් දැන සිටියේ නැත. එහෙත් 1978 දී ස්ටීවන් ලෙවි නමැති පත්තර වාර්තාකාර තරුණයෙක් හාවි සහ ඔහු ළඟ තිබෙන මොළ කැබැල්ල ගැන ඉව වැටී ඒ පසුපස ගොස් කතාව හෙළිදරව් කරගත්තේ ය.

අයින්ස්ටයින්ගේ මොළය ගැන එතෙක් අප්‍රසිද්ධියේ සිදු කෙරුණ පරීක්‍ෂණ එදා සිට ප්‍රසිද්ධියේ කෙරෙන්නට පටන් ගත්තේය. එය අදටත් එසේමය.

– අනුර සොලමන්ස් –

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *