කොරෝනා අඳුරු වළාවෙන් ‘වැසී ගිය’ බ්‍රැන්ඩික්ස් නාමයේ නොදත් කතාව

කොරෝනා සමග මේ දිනවල එකට බැඳුණු තවත් නමක් වේ නම් ඒ බ්‍රැන්ඩික්ස්ය.

ඊට හේතු වූයේ මාස ගණනාවකට පසු රට පුරා පැතිර ගිය කොරෝනා පොකුරේ මුල මිනුවන්ගොඩ දෙවොලපොළ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව වීම නිසාය.

එම නිසා අප කල්පනා කළේ මුළු රටම මේ දිනවල කතා කරන බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ කෙරෙන්නේ කුමක්දැයි සොයා බලන්නටය.

කොරෝනා පළමු අවස්ථාවේදී මේ සමාගම ගැන රටේ ජනතාවගේ අවධානය යොමුවූයේ කොරෝනා සමගින් ආනයන අපනයන සීමා වී තිබියදී ඇමෙරිකාවට පළමු ඇඟලුම් තොගය අපනයනය කිරීමේ අවස්ථාව හිමිවූයේ මේ ආයතනයට වීමයි. දෙවැනි අවස්ථාවේදී මේ සමාගම ගැන අවධානය යොමු වූයේ කොරෝනා රෝගීන් මෙම ආයතනයේ කර්මාන්ත ශාලාවක් ආශ්‍රිතව වාර්තාවීමත් සමගය.

මේ සමාගම අන් කිසිවක් නොව බ්‍රැන්ඩික්ස් ආයතනයයි. එම ආයතනය මෙකල ලංකාවේ හැඳින්වෙන්නේ මෙරට ප්‍රධානතම ඇඟලුම් කර්මාන්ත ශාලාව ලෙසය. බ්‍රැන්ඩික්ස් ආයතනයේ නම දැන් දැන් නිතර රට්ටු කතා කළද මෙය දශක හතර පහක ඉතිහාසයකට දිවෙන ආයතනයක් බව බොහෝ දෙනා දන්නේ නැත. බ්‍රැන්ඩික්ස් ඉතිහාස කතාව ලියවෙන්නේ ලෝකයේ ඇඟලුම් කර්මාන්තයේ නමක් දිනූ පුද්ගලයෙක් සමගින්ය. ඔහු ලෝ ප්‍රකට ඇඟලුම් ව්‍යාපාරිකයෙක් වන මාර්ටින් ට්‍රස්ටිය. බ්‍රැන්ඩික්ස් පටන් ගන්නේ ඔහු සමග ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙසින්ය. ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ පියා ලෙසින් ඔහු විරුදාවලිය ලබා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් ලෝකයට ගෙනයාමේ ප්‍රමුඛයා බවට පත්වූයේ ඔහු නිසා බැවිනි.

ෆෙරෝස් ලිමිටඩ් නමින් 1969 වසරේදී ආරම්භ කළ ඇඟලුම් අලෙවි සමාගම 1972 වසරේදී ෆින්ටෙක්ස් ටෙක්ස්ටයිල් ෆිනිෂිං පෞද්ගලික සමාගම බවට පත්වන්නේ ලංකාවේ සුප්‍රකට බෝරා ජාතික ව්‍යාපාරික පවුලක් වන ඔමාර් පවුලේ ව්‍යාපාරයක් බවට පත්වෙමින්ය. බෝරා ජාතිකයන් කොහොමත් ව්‍යාපාරවලට දක්ෂයෝය. ලොව දැනට වෙසෙන කුඩාම ජන කොට්ඨාසයක් වන බෝරාවරුන් අතරින් ලංකාවේ සිටින්නේ දෙතුන් දහසක් පමණි. රෙදිපිළි, කඩදාසි තේ, රබර්, කුළු බඩු ලංකාවේ බෝරාවරුන්ගේ ප්‍රධාන ව්‍යාපාරය බ්‍රැන්ඩික්ස්, හේමාස් සමූහ ව්‍යාපාර අයත් වන්නේ බෝරාවරුන්ටය. වර්තමානයේ ඔමාර් පවුලටය. අද වන විට ලංකාවේ කර්මාන්ත ශාලා විසි තුනක්, ඉන්දියාවේ කර්මාන්ත ශාලා හතරක් හා බංගලාදේශයේ කර්මාන්ත ශාලාවක් ඇතුළත්ව පනස් තුන්දහසක් වන සේවක සංඛ්‍යාවක් සිටිති. නමුත් ආරම්භයේදී තිබුණේ මහන මැෂින් දහයක් පමණි. ඔමාර් පවුලේ ඇඟලුම් කර්මාන්ත ව්‍යාපාරයට හොඳ කලක් උදාවන්නේ එවකට පැවැති රජය ඇඟලුම් කර්මාන්තශාලා ප්‍රවර්ධනය කිරීමට රජය අනුග්‍රහය ලබාදීමත් සමගය. ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක් ලංකාවට ගෙ​ෙනන ව්‍යාපාරයක් බවට පත්වීමේ තීරණාත්මක පියවරක් තැබුවේ 1986 වසරේදීය. එල්.එම්. ඇපරල් ආයතනය අත්පත් කරගැනීමත් සමගින්ය.

1980 දශකය වන විට ලංකාවේ ඇඟලුම් සඳහා ලෝකයේ හොඳ ඉල්ලුමක් ලැබෙමින් තිබුණේය. මේ අතර රාජ්‍ය අනුග්‍රහය සහිතව ග්‍රාමීය ප්‍රදේශවල ඇඟලුම් කර්මාන්තශාලා දෙසියක් ආරම්භ කර තිබුණි. ඇතැම් ව්‍යාපාරිකයන්ගේ දුර්වල කළමනාකාරිත්වය හමුවේ සමහර ඇඟලුම් කර්මාන්තශාලා අභාවයට යමින් තිබුණි. එහෙත් එම ඇඟලුම් කම්හල වසා දැමීම ආණ්ඩුවේ අවශ්‍යතාවය නොවීය. මේ නිසා සාර්ථකව ඇඟලුම් ව්‍යාපාරයේ යෙදෙන ව්‍යාපාරිකයන්ට ඒවා ලබාගෙන පවත්වාගෙන යාම ආණ්ඩුවේ අපේක්ෂාව විය. ඒ අනුව ඔමාර් පවුලට තවත් ඇඟලුම් කර්මාන්තශාලා කිහිපයක් තම ව්‍යාපාර තුළට ඇතුළු කරගැනීමේ වාසනාව උදාවය. 1991 වසරේදී ගිල් ගාමන්ට්ස් පෞද්ගලික සමාගම, 1992 වසරේදී ෆීනිස්ක් ෆැෂන් පෞද්ගලික සමාගම, කුරුවිට මැන්ටෙස්ටර් ටෙක්ස්ටයිල් මිල්ස් සමාගම අත්කර ගැනීම බ්‍රැන්ඩික්ස් සමාගම ආ ගමන් මගේ තීරණාත්මක සංධිස්ථාන විය. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඟලුම් කම්හල් කිහිපයකම හිමිකාරිත්වය ලැබීමත් සමගින් ලක්ස් ෂර්ට් කහවත්ත පෞද්ගලික සමාගම නමින් තවත් ඇඟලුම් කම්හලක් ආරම්භ කළේ කර්මාන්තයට අවශ්‍ය ශ්‍රමය පහසුවෙන් ගැනීමට අවස්ථාව ලබාගනිමින්ය.

පැවති ඇඟලුම් කර්මාන්ත ශාලා අත්පත් කරගැනීම හා නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීම 1990 දශකය වන විට ඔමාර් පවුලේ වැඩි ව්‍යාපාරික අවධානයක් යොමුවූවක් විය. එල්.එම්.කලෙක්ෂ්ස් පෞද්ගලික සමාගම, මාස්ට් ලංකා පෞද්ගලික සමාගම 1993 වසරේදී ආරම්භ කළේ එඩින් ෆැෂන් පෞද්ගලික සමාගමත් තමන්ගේ ව්‍යාපාරික ජාලයට අත්පත් කරගනිිමින්ය.

ඒ වන විට ලංකාවේ පමණක් ඇඟලුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන ගිය ඔමාර් පවුල තමන්ගේ ව්‍යාපාර විදේශ රටවල් දක්වා ව්‍යාප්ත කිරීම ගැන අවධානය යොමු කළේ 1996 වසරේදීය. මාලදිවයින දක්වා සිය ව්‍යාපාර කටයුතු ඉදිරියට ගෙන ගියේ ඊඩන් ෆැෂන් පෞද්ගලික සමාගම හරහාය. ඒ වසරේදීම ඔමාර් පවුල ඇඟලුම් ක්ෂේත්‍රයේ තවත් වැදගත් සංධිස්ථානයක් පසුකළේය. ඒ ෆීනික්ස් කොලේජ් ඔෆ් ක්ලෝතිං ටෙක්ස්ටයිල් ආරම්භ කරමින්ය. ඇඟලුම් ක්ෂේත්‍රයට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීමත්, ඇඟලුම් ලෝකයේ අලුත් දැනුම නිර්මාණය කිරීමත් ඔවුන්ගේ වැඩි අවධානයට ලක්වූ කරුණක් බවට පත්විය.

දෙදහස දශකය ආරම්භ වන විට තවත් ඇඟලුම් කර්මාන්ත ශාලා කිහිපයක්ම ඔමාර් පවුලේ හිමිකාරිත්වයෙන් ආරම්භ විය. ඒ වන විට විවිධ නම්වලින් ඇඟලුම් කර්මාන්ත ශාලා විස්සකට ආසන්න සංඛ්‍යාවක් ඔවුන් සතුව තිබුණි. ලංකාවේ ඇඟලුම් සඳහා ලෝකයේ වඩාත් හොඳ නමක් දිනාගැනීමේ අභියෝගය ජය ගනිමින් බ්‍රැන්ඩික්ස් ලංකා පෞද්ගලික සමාගම බිහිවූයේ 2002 වසරේදීය. ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් තැබූ කෙන් බාලේන්ද්‍රන් බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආරම්භක සභාපතිවරයා විය. වසර දහයක් අඛණ්ඩව බ්‍රැන්ඩික්ස් සභාපතිවරයා වූ ඔහු ඒ වන විට ව්‍යාපාරික ලෝකයේ ගෞරවයට පාත්‍ර වූයේ ජෝන් කීල්ස් සමූහයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා ලෙසය. ලංකා දුම්කොළ සමාගම, ලංකා බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ඇතුළු ආයතන රැසක් සභාපතිවරයා වූ ඔහු බ්‍රැන්ඩික්ස් සන්නාමය ඉහළට ඔසවා තැබීමේ කේන්ද්‍රීය කාර්ය භාරයකට නායකත්වය දුන්නේය. මේ නිසාම බ්‍රැන්ඩික්ස් ආයතනයේ සත්මහල් ගොඩනැගිල්ලක් ඔහු නමින් නම් කර තිබෙන්නේය. ඔහු බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ඉවත් වන්නේ පුරා දශකයක කාලයක් සභාපතිත්වය දැරීමෙන් පසුවය. කෙන් බාලේන්ද්‍රන්ගේ විශ්‍රාම යාමෙන් පසුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ සභාපතිත්වයට පත්වූයේ ඇමෙරිකාව කේන්ද්‍ර කරගත් ව්‍යාපාරික නායකයෙක් වූ ප්‍රියාන් ප්‍රනාන්දුය.

බ්‍රැන්ඩික්ස් සන්නාමය පිටුපස සිටින්නේ ඔමාර් පවුලය. දශක හතරක් තිස්සේ මේ පිටුපස සිටිමින් සමූහ විධායක අධ්‍යක්ෂවරයා ලෙසින් සිටින්නේ අශ්රෆ් ඔමාර්ය. ඒකාබද්ධ ඇඟලුම් සංගම​යේ ආරම්භක සාමාජිකයා වූ ඔහු මෙරට ප්‍රධාන සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස කටයුතු කරන්නේය. 1984 වසරේදී බ්‍රැන්ඩික්ස් සමග එක් වූ අස්ලම් ඔමාර් මෙන්ම ෆෙරෝස් ඔමාර් බ්‍රැන්ඩික්ස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පමණක්​ නොව ඔමාර් පවුලේ සාමාජිකයන්ය. බ්‍රැන්ඩික්ස් ඉන්දියා ඇපරල් සිටි නමින් අක්කර දහසකින් යුත් ඇඟලුම් කර්මාන්ත ශාලා පුරයක් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි විශාඛා පට්නම්හි ආරම්භ කිරීමට නායකත්වය දුන්නේ ෆෙරෝස් ඔමාර්ය.

බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලා සමූහය දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම්ලත් කීර්තිමත් සන්නාමයක් ලෙස මෙතෙක් කල් සුප්‍රසිද්ධව තිබු​ණේය.

සටහන- සංජය නල්ලපෙරුම

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *