බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ලබා ගැනීම සඳහා දිනකට පුද්ගලයන් 25,000ක් පමණ ලියාපදිංචි වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජේ.ටී.චන්දන පැවැසීය.
මේ අනුව, සතියකට පුද්ගලයන් ලක්ෂයක් හෝ ඊට ආසන්න පිරිසක් ලියාපදිංචි වන බවද ඔහු කීවේය.
ටින් අංකය ලබා ගැනීම සඳහා වැඩි වශයෙන් ලියාපදිංචි වන්නේ මාර්ගගත (online) ක්‍රමය හරහා බවත්, මීට අමතරව බොහෝ දෙනකු දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලවලටද පැමිණ අදාළ අයැදුම්පත් පුරවා බාරදෙන බවද ලේකම්වරයා පැවසුවේය.
මේ වනවිට දළ වශයෙන් මිලියන දෙකකට වැඩි පිරිසක් ටින් අංකය ලබා ගැනීම සඳහා ලියාපදිංචිවී සිටින බවත්, ඉන් මිලියනයක පමණ පිරිසක් ඉකුත් වසරේ (2023) දෙසැම්බර් 31 වැනිදා වන විටදී ලියාපදිංචිවී සිටි බවත් ඔහු කීවේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල සංඛ්‍යාව 15 කි.
ටින් අංකය අනිවාර්ය කිරීමේ කාලය දීර්ඝ කරන ලෙස ජනතාවගෙන් විශාල ඉල්ලීමක් පවතින බවද ඔහු කීවේය.
මේ අතර,ටින් අංකය අනිවාර්ය කිරීමේ කාල සීමාව අප්‍රේල් මාසය දක්වා කල් දැමීමට රජය අවධානය යොමුකර ඇත.
මුදල් අමාත්‍යාංශය මීට පෙරදී කියා සිටියේ පෙබරවාරි මස 01 වැනිදා සිට ටින් අංකය ලබා ගැනීම අනිවාර්ය බවය.
දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම ටින් අංකය ලබා ගැනීමේ පහසුකම සලසන බවත්, ඊට අදාළව විශේෂ නිලධාරියකු සහ වෙනම නිලධාරියකු පත් කරන බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පසුගියදා පැවසීය.
නමුත්, අස්වැසුම වැඩසටහන පුළුල් අයුරින් ක්‍රියාත්මක කිරීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැවරී තිබෙන නිසා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින නිලධාරි හිඟය නිසා ටින් අංකය අනිවාර්ය කිරීම තවත් මාස තුනකින් පමණ ප්‍රමාද කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් පසුගියදා කියා සිටියේ ටින් අංකය ලබාදීමේ වැඩසටහන රජය ආරම්භ කළද, එම කටයුතු සිදු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් පරිදි නිලධාරීන් නොමැති බවය.
කෙසේ නමුත්, මාර්ගගත ක්‍රමයට (Online) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ අදාළ පෝරම පුරවා ටින් අංකය ලබා ගැනීමේදීද විවිධ දෝෂ ඇතිවන බවද අනාවරණය වේ. මෙම ගැටලුකාරී තත්ත්වයන්ද නිවැරදි කරගෙන තවත් මාස තුනකින් පමණ ටින් අංකය අනිවාර්ය කිරීමට රජය අවධානය යොමුකර තිබේ.