හින්දු භක්තිකයන් හිරු දෙවියන් නමදින තෛපොංගල් උත්සවය අද

සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයන් හිරු දෙවියන් නමදින තෛපොංගල් උත්සවය අදට යෙදී තිබෙනවා.

නෙලාගත් අස්වැන්නේ පළමු කොටස සූර්යයාට පුදමින් කලගුණ සලකා නව වසරක උදාව සටහන් කිරීම මෙහිදී සිදු කෙරෙනවා.

ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සියලු ජනතාවට සෞභාග්‍ය උදා කිරීම, තමන් සහ රජයේ ඒකායන පරමාර්ථය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

දෙමළ ජනතාව සිය අපේක්ෂා ඉටුවන නව වසරක උදාව ලෙස සලකන තෛපොංගල් දිනය ජාතික සංස්කෘතියේ කොටසක් බවද ජනාධිපතිවරයා සඳහන් කරනවා.

නෙලාගත් අස්වැන්නේ පළමු කොටස සූර්යා වෙනුවෙන් පුදන තෛපොංගල් උත්සවය සමාජ සාරධර්ම සංකේතවත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

තෛපොංගල් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ අභියෝගාත්මක කාල වකවානුවක වුවද, සෞභාග්‍යමත් දේශයක් වෙනුවෙන් සියලු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට රජය කැප වී සිටින බවයි.

එම නිසා දෙමළ ජනතාවට නැවුම් බලාපොරොත්තු සහිතව තෛපොංගල් උත්සවය සැමරිය හැකි බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

ජාතික සංහිඳියාවේ දිනයක් බවට අද දිනය පත්වනු දැකීම අපේක්ෂාව බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තෛපොංගල් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ සොබා දහමට සමීපව තෛයිපොංගල් දිනය සැමරිය යුතු බවයි.

ලෝකයට සංහිඳියාව අවශ්‍ය වන බවත්, ඒ සඳහා මානව සංහතියට පැවරී ඇති වගකීම අතිශය වැදගත් බවත් සඳහන් කරන විපක්ෂ නායකවරයා තෛයිපොංගල් උත්සවය ඒ සඳහා පාලමක් කර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ තෛපොංගල් දින පණිවුඩයෙන් ප්‍රකාශ කළේ නව චින්තනයකට පිවිසීමට තෛයිපොංගල් දිනය අගනා නිමිත්තක් බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *