දුම්රිය ධාවනයට හමුදාව පුහුණු කිරීම ඉදිරියට

අද (08) දිනයේ උදය වරුවේ ධාවනය කෙරෙන කාර්යාලීය දුම්රිය සියයට 90 ක් පමණ ධාවනය කරවීමට කටයුතු යොදා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු ඩිලන්ත ප්‍රනාන්දු පවසනවා.

වර්ජනය හේතුවෙන් කොළඹින් බැහැර ගමනාන්තවල නවතා තිබූ දුම්රිය ධාවනය කරවීම සඳහා දුම්රිය රියදුරන් ඊයේ (07) රාත්‍රිරයේම පිටත් කර යැවූ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ.

අද පස්වරුව වනවිට දුම්රිය සේවය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ද දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු පවසා සිටියා.

මේ අතර දුම්රිය වැඩවර්ජනය අවසන් වුව ද යුද හමුදා සාමාජිකයන්ට දුම්රිය ධාවනය කරවීම සඳහා පුහුණුවීමක් ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සඳහන් කළේ.

ඊට අවශ්‍ය ලියකියවිලි මේ වන විට හුවමාරු කරගෙන ඇති බවත් කොටස් තුනක් යටතේ රියදුරන් 10 දෙනෙක්, නියාමකවරුන් 10 දෙනෙක් සහ ස්ථානාධිපතිවරුන් 10ක් ආදී වශයෙන් මෙම පුහුණු කිරීම් සිදුවෙනු ඇති බවද සඳහන් කළා. ඒ අනුව ඉදිරි මාස කිහිපයක් ඇතුළත පුහුණු දුම්රිය රියදුරන් හමුදාවෙන් බිහිවෙනු ඇති බවද සඳහන් කළා.