වැලිකඩ තාප්පය ළඟ නිවෙස් දෙකකින් රහස් සැපයුම් මගක් හසුවේ – මත් කුඩේ සිට සුවඳ විලවුන් දක්වා සිරකරුවන්ට සැපයේ

ආරක්ෂාව සඳහා ඉදිකර ඇති තාප්පය සහ යකඩ දැලේ ප‍්‍රමාණය උසින් අඩු බැවින් කොළඹ මැගසින් බන්ධනාගාරයේ සහ වැලිකඩ කාන්තා බන්ධනාගාර වල රැඳවියන්ට වැඩි වශයෙන් තහනම් භාණ්ඩ හිමිවන බව අනාවරණ වී තිබෙනවා. විවිධ පුද්ගලයන් විසින් බේස්ලයින් මාර්ගය දෙසින් මැගසින් බන්ධනාගාරය තුළට මෙලෙස තහනම් භාණ්ඩ විසිකරන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

රථවාහන සහ යතුරු පැදිවලින් ගමන් කරන ඇතැම් පුද්ගලයින් විසින් බන්ධානාගාරය තුළට මෙලෙස තහනම් භාණ්ඩ විසිකරන බව ද මේවනවිට අනාවරණ වී තිබෙනවා.

ආරක්ෂාව සඳහා මැගසින් බන්ධනාගාරයේ ඉදිරිපස, තාප්පයක් සහ යකඩ දැලක් සවිකර තිබුණ ද තහනම් භාණ්ඩ බන්ධනාගාරය තුළට විසි කිරීමට හැකියාව ඇත්තේ එම තාප්පයේ සහ යකඩ දැලේ ප‍්‍රමාණය උසින් අඩුවීම හේතුවෙන්. ඉදිකර ඇති යකඩ දැලේ උස ප‍්‍රමාණය තවත් වැඩිකළ හොත් තහනම් භාණ්ඩ මැගසින් බන්ධනාගාරයට විසිකිරීමට නොහැකි බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. මැගසින් බන්ධනාගාරයේ මේවන විට රඳවා සිටින රැඳවියන් ගණන 2,000 කට ආසන්න වනවා.

මේ අතර වැලිකඩ කාන්තා බන්ධනාගාරයට තහනම් භාණ්ඩ විසි කරනු ලබන්නේ එම බන්ධනාගාරයේ පිටුසින් දිවෙන සීවලි පටුමගේ සිට බවයි අනාවරණ වී ඇත්තේ.

කාන්තා බන්ධනාගාරයේ පිටුපසින් ද තහනම් භාණ්ඩ විසි කිරීමට නොහැකි වන පරිදි දැලක් සවි කිරීම කඩිනමින් සිදුකළ යුතු බව බන්ධනාගාර නිලධාරීන් පෙන්වා දී තිබෙනවා. වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රැඳවියන් 600 කට ආසන්න පිරිසක් මේවනවිට රඳවා සිටිනවා.

මේ අතර වනාතමුල්ල, සීවලි පටුමගේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක අනවසරයෙන් පවුල් 6 ක් වාසය කරන අතර ඔවුන්ගේ නිවාස 2 ක තිබි බන්ධනාගාරය තුළට විසි කිරීමට ගෙනැවිත් තිබු තහනම් භාණ්ඩ රැසක් පොලීසිය විසින් ඉකුත්දා සොයාගනු ලැබූවා.

එහිදී සැකකරුවන් සිව්දෙනෙකුද අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් විසින් කොළඹ මැගසින් බන්ධනාගාරය තුළට විසිකිරීම සඳහා රැගෙනවිත් තිබූ ජංගම දුරකථන 03 ක්, එම බැටරි 119ක්, චාජර් 21 ක් සහ පවර් බෑන්ක් 03ක් ද සොයා ගැනුණු බවයි පොලීසිය සඳහන් කළේ.

ඊට අමතරව එම සැකකරුවන් සන්තකයේ තිබී රැඳවියන්ට ලබාදීමට සූදානම් කර තිබූ සුවඳ විලවුන් 10 ක්, හිසකෙස් පැහැය ගන්වන ඩයිපැකට් 19 ක්, බෙහෙත් පෙති 337 ක්, දුම්කුඩු පැකට් 10 ක්, මාවා ග‍්‍රෑම් 136 ක් සහ පිසින ලද කෑම පාර්සල් 04 ක් ද සොයා ගෙන තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *