පාකිස්තානයේදී සමවූ ඩිල්ෂාන්ගේ අමිහිරි වාර්තාව

පාකිස්තානයට එරෙහිව ප්‍රථම වරට විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි.

ඒ, දෙරට අතර පාකිස්තානයේ ලහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවති දෙවැනි විස්සයි විස්ස තරගය ලකුණු 35 කින් ශ්‍රී ලංකාව ජයගැනීමත් සමගය. මෙම තරගාවලියේ පළමු තරගය ද ලකුණු 64කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම, තරගාවලියේ එක් තරගයක් ක්‍රීඩා කිරීමට තිබියදී තරගාවලිය ජයගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රහණය ලබාගත්තේ විස්සයි විස්ස තරගාවලි හතරක් එකදිගට පරාජය වීමෙන් අනතුරුවය. එසේම මෙය පාකිස්තානය සමග තරග කර ශ්‍රී ලංකාව ලබාගත් පළමු විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය ද වේ. මෙම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණියේ 2015 වසරේ සිට නොකඩවා සීමිත ඕවර තරග 14ක් පකිස්තානයට පරාජය වීමෙන් අනතුරුවය.

මෙම තරග දෙකේදීම පාකිස්තාන කණ්ඩායමේ උමර් අක්මාල් ඔහු මුහුණදුන් පළමු පන්දුවෙන් ලකුණු නොලබා දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වූ අතර එමගින්, ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයකු වන තිලකරත්න ඩිල්ෂාන්ගේ නම ඉදිරියෙන් සටහන්වූ අමිහිරි වාර්තාවක් සම කිරීමට උමර් අක්මාල්ට සිදුවිය.

විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල අවස්ථා 10 කදී තිලකරත්න ඩිල්ෂාන් ලකුණු නොලබා දැවී ගොස් එලෙස වැඩිම වාරයක් දැවීගිය ක්‍රීඩකයා බවට පත්ව තිබු අතර තිබෙන උමර් අක්මාල් ඊයේ දින එම වාර්තාව සමකිරීමට සමත්විය. ඩිල්ෂාන් පළමු පන්දුවෙන් ලකුණු නොලබා දැවීගිය අවස්ථා 5ක් තිබු අතර මෙම තරගාවලියේ ලබාගත් පළමු පන්දු දැවීයාම් දෙකත් සමග උමර් අක්මාල් අවස්ථා 6කදි එසේ දැවී ගොස් තිබේ.

ලෝකයේ වැඩිම අවස්ථාවක් ජාත්‍යන්තර තරගවලදී ලකුණු නොලබා දැවීගිය ක්‍රීඩකයන්ගේ වාර්තාවල පළමු ස්ථාන 5න් 3ක්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉදිරියේ සටහන්වී තිබේ. ඉන් දෙදෙනෙකුම ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්ෂතම පිතිකරුවන් දෙදෙනෙකු වීමද විශේෂත්වයකි.

මුත්තයියා මුරලිදරන් – 59
කර්ට්නි වොල්ෂ් – 54
සනත් ජයසුරිය – 53
ග්ලෙන් මැග්රාත් – 49
මහේල ජයවර්ධන – 47

දැනට ජාත්‍යන්තර පිටියේ රැඳී සිටින ක්‍රීඩකයන් අතරින් මෙම අමිහිරි වාර්තාව ආසන්නයේ සිටින ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ “0” 43ක් ලබාගත් එංගලන්තයේ ස්ටුවර්ට් බෝඩ් සහ “0” 41ක් ලබාගත් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගය.