කවුරුත් නොදන්නා පාරකින් ගෙනත් ‘චීන කත හොඳ කළ’ කොරෝනා මෙහෙයුමේ හෙළි නොවූ කතාව(PHOTOS)

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා රෝගී කාන්තාව සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් ඇති බව අයි.ඩී.එච්. රෝහල් ආරංචි මාර්ග පවසනවා.

කොරෝනා කාන්තාවගේ පැමිණීමත් සමග ගමේ ජනතාව වාසස්ථාන හැර යන්නට වූ අතර රෝහලේ සේවකයන් පමණක් තනිව රෝගියා වෙනුවෙන් කළ සටන කිසි දින අමතක නොවන බවයි රෝහලේ සේවකයන් සඳහන් කරන්නේ.

කොරෝනා රෝගී කත රෝහලට රැගෙන පැමිණ ඇත්තේ වෙනදා රෝගීන් රැගෙන එන මාර්ගයේ නොවේ. ඒ සඳහා වෙනත් මාර්ගයක් නිර්මාණය කර තිබෙනවා.

එය කෙළවර වන්නේ එම රෝගීන්ට තම ප්‍රතිකාර කිරීමට තිබූ ”ඒකලන ඒකකය” නැතිනම් හතරේ වාට්ටුව ළඟය. ගගනගාමින් සේ විශේෂ ඇඳුමකින් සැරසුණු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක් පැමිණ ඇයව ‘‘ඒකලන ඒකකයේ” ඇති කුඩා පන්ති කාමරයක් වැනි කුටියක් වෙත රැගෙන ගොස් තිබුණා.

එය හතර වටින් සීල් කර ඇත්තේ කුඹියකුට හෝ ඇතුළු විය නොහැකි ආකාරයටය. ඒ විෂබීජ පිටට යාම වැළැක්වීමටය. රෝගී කතට සුව පහසුවක් දැනෙන්නට එම කාමරයේ වායු සමීකරණයක් තබා තිබෙනවා.

මුල් දින කිහිපයේදී ඇයගේ කුටියට යාමට අවසර තිබුණේ වෛද්‍යවරයාට සහ හෙද නිලධාරීන් කිහිපයකට පමණි. එයත් ගගගාමීන් සේ දිස්වන ආරක්ෂිත ඇඳුම් කට්ටලය හැඳගෙනය.

අයි.ඩී.එච්. රෝහලේ ”ඒකලන ඒකකය” යනුවෙන් කතා කරන්නේ කොරෝනා පැමිණීමටත් පෙර රෝගීන් සිටි වාට්ටුවක් ගැන නම් නොවේ.

මේවායේ සැබෑ හිමිකරුවන් වන්නේ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලයයි. ඔවුන් සියලු දෙනාම විවේක ගත්තේ මෙම කාමර වලයි. කොරෝනා පැමිණීමත් සමග මේ විවේක ශාලා රෝගීන්ගේ නේවාසික කාමර බවට පත්වුණා. දැන් ඔවුන්ට සුළු විවේකයක් හෝ ලබා ගැනීමට ඇත්තේ ‘‘ඒකලන ඒකකයේ’ කොරිඩෝවේ ඇති පුටු කිහිපයක් පමණයි. සමහරවිට එයද රෝගීන් බැලීමට පැමිණෙන අයට දී වෛද්‍යවරු හා හෙදියන් සිටගෙන සිටීම අගය කළ යුත්තේ එවැනි සිරිතක් අප වෙනත් රෝහල්වල දැක නැති බැවිනුයි.

මේ අතරේ චීන කාන්තාව ගෙනා භාණ්ඩ නිරෝධායනය හෙවත් ආරක්ෂිත ක්‍රමවේදයකට අනුව පිරිසිදු කිරීම මෙහි දී සිදු කළා. එය කරන්නේ ද රෝහලේ සිටින කනිෂ්ඨ කාර්ය මණ්ඩලයයි. අයි.ඩී.එච්.රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයක ලෙස සේවය කරන එම්.නිහාල් සුසන්ත පෙරේරා නම් කීවේ මෙවැනි රෝගීන් සතුව ඇති සියලු ”ලට්ට ලොට්ට” ඔවුන් විසින් නිරෝධායනය කරන බවයි. එහෙත්, චීන කත සතුව තිබුණේ එක් ඇඳුමක් පමණි. ඒ නිසා දත් බුරුසුවේ සිට ඇදුම් පැළදුම් සහ පාවහන් යන සියලු දෑම ඇයට සපයා තිබුණේ රෝහල් කාර්ය මණ්ඩලයයි.

”කොරෝනා නිසා අයි.ඩී.එච්. ගමේ මිනිස්සුත් ගමෙන් යන කොට අපි විතරයි මෙහෙ ඉතුරු වුණේ. හිතට පොඩි බයකුත් ආවා. එ්ත්, මේ වගේම වසංගත කීයක් එක්ක නම් අපි ඉඳලා තියෙනවද කියලා හිතුනම මේ වසංගතය මොකක්ද කියලා හිතුණා.”

නිහාල් ප්‍රසන්න කියන්නේ සිනාසෙමිනුයි.

වෙනදා අයි.ඩී.එච්. රෝහලේ රෝගීන්ට උදේ කෑම ලෙස ලැබෙන්නේ ධාන්‍යමය ආහාරය. දවල්ට ලැබෙන්නේ බත්ය. ඒවාත් රැගෙන එන්නේ විශාල හොදි භාජන දැමු කෑම කරත්තයකය. නමුත්, කොරෝනා වැලඳුණු කතට සහ කොරෝනා ආසාදනය වී යැයි සැක කෙරෙන රෝගීන්ට නම් ආහාර ලැබෙන්නේ සුඛෝපභෝගී හෝටලයකදී ලැබෙන ආකාරයේ කෑම වේලකි. ඒ කෑම බඳුන් ගෙන එන්නේද ඇලුමිනියම් බහාලුම් තුළ දමා හැන්දක් සහ ගැරුප්පුවක් සමගිනි. පානය කිරීමට ලැබෙන්නේ ද සීල් තැබූ වතුර බෝතල්ය. එපමණක් නොව, විදේශිකයන් සඳහා වෙනම ආහාර වට්ටෝරුවක් නිර්මාණය කර දෙන බව හෙද නිලධාරිනි උඩුගම කෝරාල සඳහන් කළා.

”දැන් අපි කරන්නේ හරියට හොටෙල් කෝස් එකක් වගේ වැඩක්” යැයි ඇය පවසනවා.

“ලංකාවේ අපිට නම් උදේට බත් කලා පුරුදුයි.  මෙහෙ ඉන්න විදේශිකයන්ට එහෙම ආහාර ගන්න බැහැනේ. විශේෂයෙන් කොරෝනා වැලඳුණු චීන කාන්තාවට. එයාට අපි උදේට කන්න දෙන්නේ සැන්විච් හදලා. දවල්ට කංකුනුයි, රයිස් එකකුයි දෙනවා. සමහර දවස්වලට එයා අපිට කියනවා කුකුළු මස් බැදලා කන්න ආසයි කියලා.”

මේ කෑම වට්ටෝරුව පිළියෙල කරන්නෙත් අයි.ඩි.එච්. රෝහලේ මුළුතැන්ගෙහි සේවය කරන සේවකයන්ය. අදාළ දිනයට කුමන කෑම ජාති කුමන වේලාවට දෙන්නේ දැයි තීරණය කරන්නේ හෙද නිලධාරීන්ය.

ඇයට සැලකු හෙද නිලධාරිනිය ඇය කුමාරි අමරසේනය. ඇය රත්නපුරේ ගොඩකවෙල පදිංචිකාරියකි. චීන කත හමුවීමට අප යනවිටත් හෙද නිලධාරිනීය කුමාරි සිටියේ චීන කත සමග කතා බහ කරමිනුයි. කුමාරි කියන්නේ තමන්ට චීන භාෂාව කතා කළ නොහැකි බවයි. එමෙන්ම චීන කාන්තාවටත් චීන භාෂාව හැර වෙනත් කිසිදු භාෂාවක් කතා කළ නොහැකි වීම ගැටලුවට කරුණක් වී තිබෙනවා. එම නිසා අපට ඇතිවූ ගැටලුව වූයේ ඔවුන් දෙදෙනා සන්නිවේදනය කළේ කෙසේද යන්නයි.

එහි දී ඇය කියා සිටියේ ඒ සඳහා මුදුකාංගයක් ඇති බවයි. එයින් භාෂාව පරිවර්තනය කිරීමේ හැකියාව පවතිනවා.. ඇය චීන බසින් කියන දේ දුරකථනයේ ඉංග්‍රීසියෙන් පරිවර්තනය වන අතර ඉංග්‍රීසියෙන් කුමාරි කියන දේ දුරකථනයෙන් චීන බසින් පරිවර්තනය වනවා.

“මම විදුරු දොර ගාවට ගිහිල්ලා එයත් එක්ක කතා කරන්න උත්සහ කළා. එයා මාත් එක්ක කතාබස් කළේ නැහැ. ඇත්තටම, මට ඒ වේලාවේ එයා ගැන ගොඩක් දුක හිතුනා. ඒ නිසාම , මම එයා ගාවට ගිහිල්ලා ඔලුව අතගාලා, අතින් අල්ලගෙන හිටියා. ඒ විදිහට දවස් දෙක තුනක් ගියාට පස්සේ එයා නිකන්ම අපිත් එක්ක කතා කරන්න පටන් ගත්තා. “

එතෙක්ම, ඇය සිට ඇත්තේ ජනෙල් කවුළුවෙන් පිටත බලා හඬමිනුයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *