යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට ප්‍රථම වරට ප්‍රාරක්ෂණ ක්‍රියාවලිය සඳහා e-MER සහ ඩිජිටල් වෛද්‍ය වාර්තා භාවිතා කිරීම ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වඩාත්ම පුරෝගාමී රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, ප්‍රාරක්ෂණ ක්‍රියාවලිය ස්වයංක්‍රීය කිරීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙරට ප්‍රථම වරට e-MER (Electronic Medical Examination Report) සහ ඩිජිටල් වෛද්‍ය වාර්තා භාවිතා කිරීම ආරම්භ කර තිබේ. ඩර්ඩ්න්ස් රෝහල සමග එක් වී මෙය සිදුකරනු ලබන අතර, ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුමට 2023 අප්‍රේල් 10 වන දින අත්සන් තබන ලදී.

මේ ආකාරයට ඩිජිටල් වෛද්‍ය වාර්තා භාවිතා කිරීමට හැකි වීම මගින්, නව රක්ෂණයක් නිකුත් කිරීම සඳහා ගතවන කාලය විනාඩි 15 ක් දක්වා අඩු කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සාමාන්‍යයෙන් මෙම ක්‍රියාවලියට දින එකහමාරක් පමණ ගත වේ.

මේ ආකාරයට නවීන තාක්ෂණය සහ ඩිජිටල් විසඳුම් ඒකාබද්ධ කිරීම මගින් රක්ෂණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම වන අතර, ගනුදෙනුකරුවන් හා සෞඛ්‍ය සේවා සපයන ආයතන අතර සම්බන්ධතාව පවත්වා ගැනීම ද වඩාත් පහසු වේ.

එමෙන්ම මෙමගින්, ගනුදෙනුකරුවන් සම්බන්ධ දත්තවල රහස්‍යභාවය සුරැකෙන අතර, වඩාත් සුරක්ෂිත හා විශ්වාසනීය ලෙස වෛද්‍ය වාර්තා පවත්වා ගැනීමට ද අවස්ථාව උදාවනු ඇත. තවද, එය වඩාත් සම්පූර්ණ, නිවැරදි හා පහසුවෙන් පරිශීලනය කළ හැකි ආකාරයට ලිපිලේඛන පවත්වා ගැනීමට උපකාරී වන අතර, ඕනෑම මොහොතක ගනුදෙනුකරුගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමට ප්‍රාරක්ෂකයන්ට අවස්ථාව ලබාදෙයි. මේ ආකාරයට ගනුදෙනුකරුවන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් සම්පූර්ණ දත්ත එකතුවක් පවත්වා ගැනීමට හැකි වීම මගින් යූනියන් ඇෂුවරන්ස් සමාගමට ප්‍රාරක්ෂණ ක්‍රියාවලියේ අවදානම් තක්සේරුව වඩාත් විධිමත් ලෙස සිදුකිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

තවද, මෙමගින් කඩදාසි භාවිතය අවම වීම යූනියන් ඇෂුවරන්ස් සමාගමේ පරිසර හිතකාමී ප්‍රතිපත්තිය තවදුරටත් ශක්තිමත් කරන පියවරක් වනු ඇති අතර, ප්‍රාරක්ෂණ ක්‍රියාවලිය කාර්යක්ෂම වීම මගින් ප්‍රාරක්ෂණ නිලධාරීන්ට අවදානම් කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා පැවසුවේ මෙය රක්ෂණ ක්ෂේත්‍රය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරන පියවරක් වනු ඇති බවයි. එමෙන්ම මෙතුළින් වඩාත් පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන අතරම, රක්ෂණ ක්‍රියාවලිය වඩාත් සරල කිරීම සඳහා සමාගම ගන්නා උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් බව ත්, ඒ මහතා පෙන්වා දුන්නේ ය. “එපමණක් නොව මෙය ගනුදෙනුකරුවන්ගේ පහසුවට හා සේවාවන්ගේ කාර්යක්ෂමතාවට මුල්තැනක් දෙමින් නව යුගයට ගැළපෙන රක්ෂණ විසඳුම් හඳුන්වා දීම සම්බන්ධයෙන් අප සතු දැක්මට සමගාමී පියවරක්ද වනවා.” ජූඩ් ගෝම්ස් මහතා වැඩිදුරටත් පැවසී ය.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන තාක්ෂණ නිලධාරී රුමේෂ් මෝදරගේ මහතා පෙන්වා දුන්නේ, e-MER සහ ඩිජිටල් වෛද්‍ය වාර්තා හඳුන්වා දීම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරළියකට මුලපුරනු ඇති බවයි. පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කරමින් සේවාව වඩාත් ඉහළ තලයකට රැගෙන ඒම සඳහා දිගින් දිගටම මෙවැනි හඳුන්වා දීම් සිදුකිරීමට සමාගම බලාපොරොත්තු වන බව පැවසූ මෝදරගේ මහතා, 2024 වසර වනවිට ප්‍රාරක්ෂණ ක්‍රියාවලියෙන් 90% ක් ම ස්වයංක්‍රීයකරණය කිරීමට බලාපොරොත්තු වන බවත්, එම ඉලක්කය සපුරාගැනීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලම දැනටමත් සකස් කර ඇති බවත් පැවසී ය.

“යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ඩිජිටල් හවුල්කරු බවට පත් වීමට හැකි වීම අපට මහත් සතුටක්. නවීන තාක්ෂණය මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රය හා රක්ෂණ ක්ෂේත්‍රය අතර සම්බන්ධතාව වැඩිදියුණු කළ හැක්කේ කෙසේද යන්න මෙමගින් තවදුරටත් පැහැදිලි වනවා. මෙරට ඉහළ ගුණාත්මකභාවයකින් යුත් සෞඛ්‍ය සේවාවන් සපයන ප්‍රමුඛ පෙළේ රෝහලක් වශයෙන් අප විශ්වාස කරන්නේ, මෙවැනි පියවර මගින් නවීන ලෝකයේ ජීවන රටාවන්ට ගැළපෙන විශිෂ්ට, කාර්යක්ෂම හා පහසු සේවාවක් ලබාදීමට අපට හැකියාව ලැබෙන බවයි.” ඩර්ඩ්න්ස් රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී මහනිල් පෙරේරා මහතා පැවසී ය.

ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, දශක තුනක සාර්ථකත්වයක් ඔස්සේ 2023 මාර්තු මාසය වන විට රු. බිලියන 19.4 ක් වූ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක් සහ රු. බිලියන 57.7 ක ජීවිත රක්ෂණ අරමුදලක් වාර්තා කරගෙන ඇත. යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආයෝජනය, ආරක්ෂාව සහ විශ්‍රාම ජීවිතය අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමන අතර, එහි කාර්ය මණ්ඩලයේ සේවය කරන සංඛ්‍යාව 4,000 කට අධික ය. රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික-කේන්ද්‍රීය දෘෂ්ටිකෝණයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම වෙනුවෙන් යුනියන් ඇෂුවරන්ස් සමාගම අඛණ්ඩව ආයෝජනය කරමින් සිටී.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *