බම්බලපිටිය Unity Plaza වෙනස් වෙයි

බම්බලපිටිය Unity Plaza සුපිරි වෙළෙඳ සංකීර්ණය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිසංවර්ධනය කෙරේ.

මෙහි ප්‍රතිසංවර්ධන කටයුතු සිදු කෙරුණේ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ආයෝජන වැඩපිළිවෙළ යටතේයි.
ප්‍රතිසංවර්ධන කෙරුණු Unity Plaza වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) දින සිදු කෙරිණ.

Unity Plaza වෙළෙඳ සංකීර්ණය කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පිහිටා ඇති ප්‍රධානතම වාණිජ ගොඩනැගිල්ලකි. මේ වනවිට මෙය සියලු තොරතුරු තාක්ෂණ අවශ්‍යතා එකම වහලක් යටින් සපුරා ගැනීමේ හැකියාව ඇති ප්‍රමුඛතම සාප්පු සංකීර්ණය බවට පරිවර්තනය වී තිබේ. මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සංධිස්ථානයක් ලෙස හැදින්විය හැකි Unity Plaza, නවෝත්පාදන ප්‍රවර්ධනය සදහා රාජ්‍ය හා පෞද්ගලික සහයෝගීතාවයට හොදම උදාහරණයකි.

1982 වසරේ ජුනි මස 25 වනදා ඔනාලි හෝල්ඩින්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් Unity Plaza ආරම්භ කර තිබේ. වර්තමානයේ මෙහි 51% ක කොටස් අයත් වන්නේ මෙම සමාගමටයි. මෙහි 45% ක කොටස් නාගරික සංවර්ධන අධිකාරියට අයත් වේ. මෙම වෙළෙඳ සංකීර්ණයේ නවීකරණ කටයුතු ආරම්භ කෙරුනේ 2021 වසරේදීය. ඒ සදහා රුපියල් මිලියන 400 ක පමණ මුදලක් වැය වී තිබේ.

වර්තමානයේ කැපී පෙනෙන පරිවර්තනයකට ලක්ව ඇති මෙම සුපිරි වෙළෙඳ සංකීර්ණය, අලෙවිසැල්වලින් යුතු මහල් 5 කින් සහ කාර්යාල පහසුකම්වලින් යුතු මහල් 5 කින් සමන්විතයි. නව ප්‍රතිසංවවර්ධන කටයුතු සමග පාරිභෝගික හිතකාමී පහසුකම් රැසක් මෙහි අන්තර්ගත කර තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, වැවිලි කර්මාන්ත ‍රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, ඔනාලි හෝල්ඩින්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ සභාපති ආර්චි වර්මන්, කළමනාකාර අධ්‍යක්ෂ හාර්ඩි ජමාඩින්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යනන්ද, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *