එජාපයේ කොටසක් ජනපති සෙවණට යන්න සූදානමක්

2019 නොවැම්බර් 09 සහ දෙසැම්බර් 09 අතර පැවැත්විය යුතු ජනාධිපතිවරණයට පෙර යළිත් වරක් ආණ්ඩුව පෙරළීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය සැලසුම් කීපයක් දියත් කරමින් සිටින බව වාර්තා වේ.

දැනගන්නට ලැබෙන පරිදි ඉන් එක් සැලසුමක් වන්නේ එජාප ආණ්ඩුවට ගිය ශ්‍රීලනිප පිරිසද එජාප පිරිසක් ද එක් කරගෙන 113ක බහුතර බලය පෙන්වා ආණ්ඩුව වෙනස් කිරීමය.

එවැනි අවස්ථාවක අරුමුගම් තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනා පමණක් නොව දෙමළ ජාතික සන්ධානයෙන් තවත් මන්ත්‍රීවරුන් කීපදෙනෙකුද මුස්ලිම් කොංග්‍රසයේ මෙන්ම සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහයද ලබාගත හැකි වනු ඇතැයි ඇතැම් උපදේශකයන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇතැයි වාර්තා වනවා .

පසුගිය ඔක්තෝබර් 26 දින අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන අවස්ථවේදීද එජාපයේ පිරිසක් ජනාධිපතිවරයාට සහයෝගය දීමට පොරොන්දු වී තිබූ බව එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු ප්‍රකාශ කළේය.

මෙවරද ජනාධිපතිවරයා එජාපය නියෝජනය කරන ඇතැම් අමාත්‍යවරුන් වර්ණනා කරමින් කතා කරන ආකාරයද නිරීක්ෂණය කළ හැක.

ජනාධිපතිවරයාගේ අනෙක් සැලැස්ම වී ඇත්තේ ජනාධිපති ධුර කාලය වන අවුරුදු 5 පිරීම, 19 වන සංශෝධනයට කතානායකවරයා අත්සන් තැබූ දිනය වන 2015 මැයි මස 15 වනදා සිට ගණන් බැලිය යුතු බවට නව අගවිනිසුරු පත් වූ පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපනයක් ලබා ගැනීමය.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *