මම මරණය ලබා ගන්නෙත් පොදු ජනතාව සමඟ අත්වැල් බැඳගෙන – සජිත්

මන්දිර ජීවිත තාමා විසින් සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද(23) පස්වරුවේ මාතර පැවැති ජන රැළියක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදසහස් දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

“කිසිඳු කෙනෙක් කිසිඳු සැකයක් හිතේ තියාගන්න එපා මෙවර ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වෙනවා ස්ථිරයි කියන එක මේ අවස්ථාවෙදී ප්‍රකාශ කරන්න ඕනේ.

වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානය ලබා දෙන. ශ්‍රී ලංකා ෆස්ට් කියන වැඩ සටහන අපි දියත් කරනවා කියන එක මේ අවස්ථාවේදී අපි ඔබලාට ප්‍රකාශක කරනවා.

එළඹෙන නොවැම්බර් දෙසැම්බර් මාසයේ ඔබ සියලු දනොම සැරසෙන්න ප්‍රථමවාතාවට. මෑත ඉතිහාසයේ හොඳ නිර්භීත ගමනක් තිබෙන අපේම මාතෘ භුමියක අපි නිර්මාණය කරමු.

මම අද රටේ ජනතාවට කියනවා සජිත් ප්‍රේමදාස මන්දිර ජීවිත සහමුලිම්ම ප්‍රතික්ෂේප කරනවා. තමුන්වහන්සේලාට මන්දිරවල මාව දකින්ට ලැබෙන්නේ නෑ. තමුන්වහන්සේලාට මාව දකින් ලැබෙනවා මේ රටේ කුඩා ගම්මානවල.”

එමෙන්ම පියා මෙන්ම තමාද මරණය ලබා ගන්නෙත් පොදු ජනතාව සමඟ අත්වැල් බැඳගෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනිම වෙනුවෙන් සංවිධාන කළ දෙවන ජන රැළිය අද පස්වරුවේ පැවැත්වුනේ මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගනයේදීයි.

පැය 15 කට අධික කාලයක් තිස්සේ මාතරට ඇදහැලුණු අධික වර්ෂාව නිසා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනය මඩ ගොහොරුවක් බවට පත් වී තිබුණ ද එය නොතකා අති විශාල ජනකායක් සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.

මෙම අවස්ථාවට සුජීව සේනසිංහ, අශෝක අබේසිංහ, එරාන් වික්‍රමරත්න, බුද්ධික පතිරණ, චන්ද්‍රානී බණ්ඩාර, නලින් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමී, හර්ෂණ රාජකරුණා, අජිත් පී.පෙරේරා, හරීන්ප්‍රනාන්දු, නිරෝෂන් පෙරේරා, බන්දුලලාල් බණ්ඩාරිගොඩ, තුෂාර ඉදුනිල්, හේෂා විතාන, ඉන්දික බණ්ඩාරනායක, ආචාර්ය හර්ෂ ද සිල්වා යන මැති ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සිවිල් සංවිධාන නියෝජියෝ සහ පළාත් පාලන නියෝජිතයෝ විශාල පිරිසක් ද රැළියට සහභාගී වූහ.

කෙසේවෙතත් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය සාගල රත්නායක මහතා ජන රැළියට සහභාගි වී සිටියේ නොමැත.

පස්වරු 5.15 ට පමණ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජන රැළියට එක්වූ අතර එහිදි එහි සිටි පාක්ෂිකයින්ගෙන් ඔහුට හිමිවුනේ උණුසුම් පිළිගැනිමකි.