ඉන්දියාව සහ පාකිස්තානය ගැටුම් වර්ධනය උවහොත් අසල්වැසි රටවලට නිරායාසයෙන් ම ඉන් අහිතකර ප්‍රතිඵල ගෙන දෙන බව බීබීසී පුවත් සේවය පෙන්වා දෙනවා.
මේ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය කමලා ලියනගේ සඳහන් කර ඇත්තේ මෙය න්‍යෂ්ටික යුද්ධයක් බවට පත් වුවහොත් මුළු ලොවට ම තර්ජනයක් විය හැකි බවයි..
“මේ රටවල් දෙක අතර ගැටුමක් ඇති වුවහොත් මුළු කලාපයේ ම සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් වෙයි කියල බියක් තියෙනවා. මේ රටවල් දෙක ම තරගකාරී ව න්‍යෂ්ටික අත්හදා බැලීම් කරල තියෙනවා. ඒ නිසා න්‍යෂ්ටික හැකියාව තියෙනවා.” ඇය පැවසුවාය.
“ඒ රටවල් දෙක පිටුපසින් ලෝක බලවතුන් ඉන්නවා. මේක න්‍යෂ්ටික යුද්ධයක් බවට පත් වුණොත් කලාපයට විතරක් නොවෙයි ලෝකයට ම තර්ජනයක් වේවි.”
ලොව කොතැනක යුද්ධයක් ඇති වුවත් බෙදී වෙන්වී සිටින සුපිරි බලවතුන් ඒ යුද්ධය වටා කඳවුරු බැඳ ගැනීම සාමාන්‍ය තත්ත්වයකි.
ආසියානු කලාපයේ තම බලය තහවුරු කර ගැනීම සඳහා වෙර දරමින් සිටින චීනය සහ ඇමරිකාව මෙහිදී ක්‍රියාශීලී වනු ඇති බව මහාචාර්ය කමලා ලියනගේ පෙන්වා දෙනවා.
ඉන්දියාවට සහයෝගය ලබා දීමට ඇමරිකාව පියවර ගතහොත් පාකිස්තානය වෙනුවෙන් චීනය පෙනී සිටීමට ඉඩකඩක් ඇති බව ඇයගේ අදහසයි.
යුද්ධෝපායී වශයෙන් ගත් කල ශ්‍රී ලංකාව ඉතා වටිනා ප්‍රදේශයක ස්ථානගත වී ඇති හෙයින් ඒ කෙරෙහි ඇමරිකාවේ සහ චීනයේ බැල්ම තවදුරටත් තීව්ර විය හැකි බව මහාචාර්යවරිය ප්‍රකාශ කළා.
එමෙන් ම ආර්ථික වශයෙන් ද ශ්‍රී ලංකාවට අහිතකර බලපෑම් ඇති විය හැකි බවට ඇය අනතුරු අඟවනවා.
මේ පිළිබඳව කළ විමසීමකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත් බීබීසී සිංහල සේවයට කියා ඇත්තේ , ශ්‍රී ලංකාව තුළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ භාණ්ඩවල මිල ඉහළ යාමක් සිදුවීම වැළැක්විය නොහැකි බවයි.
“ඉන්දියාව කලාපයේ ආර්ථික බලවතා. ඉන්දියාව කලාපීය රටවල් නවයක් සමග වෙළෙඳ සහ ආර්ථික ගිවිසුම් ඇති කර ගෙන තිබෙනවා. ඒ ගිවිසුම් අනුව ඉන්දියාව කරන්නේ වැඩියෙන් අපනයනය. අපි කරන්නේ ආනයනය.” යනුවෙන් ඇය පෙන්වා දෙනවා.
මේ වන විට ශ්‍රී ලංකාව භාණ්ඩ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබනවා.
මුළුතැන්ගෙයි කුළුබඩුවල සිට මහමග දිවෙන වාහන දක්වාත්, නිවෙසේ භාවිත කෙරෙන කුඩා උපකරණයක සිට මහා පරිමාණයේ කෘෂිකාර්මික හා ඉදිකිරීම් යන්ත්‍ර සූත්‍ර දක්වාත් ඒවා ලැයිස්තු ගත කළ හැකියි.
ඉන්දියාවේ සහ පකිස්ථානයේ යුදමය තත්වයක් ඇතිවුනොත් ඒ රටවල උද්ධමනය වැඩි වෙනවා. විදේශ විනිමය අනුපාතයේ පහළ යාමක් සිදුවිය හැකියි. රට තුළ භාණ්ඩ මිල ගණන් ඉහළ යා හැකියි.
ඉන්දියාවෙන් වාහන වගේ ම තවත් භාණ්ඩ රාශියක් ලංකාවට ගෙන්වනවා. ඒවායේ මිල ගණන් ඉහළ යා හැකියි. මුළු කලාපයට ම ගෙන එන්නේ අහිතකර ප්‍රතිඵල.” යනුවෙන් ඇය සඳහන් කරනවා.