විද්‍යා ඝාතනය: මරණීය දණ්ඩනය නියම වී සිටි වරදකරුවෙක් මරුට

මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවෙකු වී මරණීය දණ්ඩනය නියමව පල්ලේකැළේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි පූබාලසිංහම් තවකුමාර් නමැති පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට පෙරේදා (මාර්තු 30) රාත්‍රියේ ඇතුළත් කර සුළු මොහොතකට පසු මියගොස් ඇති බව රෝහල් පොලිසිය පැවසීය.

මිය ගිය පූබාලසිංහම් 39 වන පසු වූ අතර මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් ඔහු අභියාචනයක් ඉදිරිපත් කර තිබුණු බව පොලිසිය සඳහන් කළේ ය.

මරණීය දණ්ඩනය නියම වීමෙන් පසු පල්ලෙකැළේ දුම්බර බන්ධනාගාරයට යොමු කර සිටි ඔහු විටින් විට රෝගාතුර වීම නිසා බන්ධනාගාර රෝහලට සහ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය අද (අප්‍රේල් 1) ඥාතීන් වෙත භාර දුන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක mawbima.lk වෙත පැවසීය.

විද්‍යා දැරිය 2015 මැයි මස 13 දින යාපනයේදී ඝාතනයට ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ස්විස් කුමාර් ඇතුළු හත් දෙනෙකුට 2017 වසරේදී මරණ දණ්ඩනය නියම විය.

යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචෙලියන්, ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර් සහ වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂීමහේන්ද්‍රන්ගේ ඒකමතික තීන්දුවක් ලෙස අදාළ දඬුවම ප්‍රකාශයට පත් කෙරිණි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *