කොළඹ අරලිය ගහ මන්දිරයේ සිට ගෝල්ෆේස් පිටියට පැමිණි ප්‍රචණ්ඩකාරීන් ගෝල්ෆේස් පිටියට පිවිසීම නතර නොකරන ලෙසට උපදෙස් දී ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා හෙළි කළේය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. එසේම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ධුරයේ තබාගෙන මෙම පහරදීම පිළිබඳව විමර්ශනය කිරීමෙන් පළක් නොවන බවත් ඔහු එයින් ඉවත් කර විමර්ශන කළ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙම පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් මහ මොළකරු වන්නේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස බවත් ඔහු පැවැසීය.
ගෝල්ෆේ්ස් පිටියට පහරදුන් පිරිස් අත්අඩංගුවට ගන්නවා වෙනුවෙන් එම පහරදීම හේතුවෙන් පසුව ඇතිවූ සිද්ධි දාමයට සම්බන්ධ පිරිස් මේ වන විට අත්අඩංගුවට ගනිමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.