වරකාපොලදී හමුවූ කට ප්ලාස්ටර් කළ සැමියාගේ මළ සිරුර බිරිය හඳුනාගනී

මුහුණ කට වැසෙන අයුරින් ප්ලාස්ටර් ගසා තුල්හිරියේ මා ඔය අයිනේ උණ පඳුරු ආශ්‍රිතව දමා ගොස් තිබූ මියගිය අයකුගේ සිරුරක් (ඊයේ) 13 දා හමුවූ බව වරකාපොළ පොලිසිය පවසයි.

කොළඹ කුරුණෑගල මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ මා ඔය අයිනේ උණ පඳුරක් ආසන්නයේ මෙම සිරුර තිබී ඇති අතර මාර්ගයේ ගමන් ගත් වාහනයක අයෙකු මුත්‍රා කිරීමට මා ඔය අයිනට ගියවිට මෙම සිරුර දැක වරකාපොළ පොලිසියට දන්වා ඇත.

වරකාපොළ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පැමිණ කළ විමර්ශනයේදී මුව හා නාසය වැසෙන පරිදි ප්ලාස්ටික් ගම් ටේප් අලවා තිබුණ බවද වයස 45 පමණ වන අයකු බවත් පවසයි.

මෙම පුද්ගලයාගේ කලිසම් සාක්කුවේ රුපියල් 10,000 අධික මුදලක් බැංකු කාඩ් පත් කිහිපයක් හා සයිනොෆාර්ම් එන්නත් දෙකම ලබා ගත් කාර්ඩ් පතද තිබී ඇත.

කළු පැහැති කලිසමක් හා නිල් පැහැති කමිසයකින් සැරසි සිටි මෙම පුද්ගලයාගේ හැඳුනුම් පතේ සඳහන් තොරතුරු අනුව මොහු මහනුවර මඩොල්කැලේ ප්‍රදේශයේ පුද්ගලයකු ලෙසට හඳුනාගෙන ඇත.

වරකාපොළ මහෙස්ත්‍රාත් බුවණක රාජකරුණා එම ස්ථානයට පැමිණ සිරුර පරීක්ෂාකර බලා සිරුර කෑගල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමුකර පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතුව අධිකරණයට වාර්තාකරන ලෙසද හැඳුනුම් පතේ තොරතුරු අනුව සිරුර ඥතීන්ට භාර දෙන ලෙසට නියෝග කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *