“මට තරහක් තියෙනවා.. කවුද ඉන්නේ කින්ද මන්ද කියලා තේරෙන්නේ නැහැ” – කුසල් ජනිත් පෙරේරා හඬ අවදි කරයි

කුසල් ජනිත් පෙරේරා පසුගිය සෙනසුරාදා (16) නොදැවී ලකුණු 153ක් රැස් කරමින් දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයක් අත්පත් කර දීම සමග ලෝකයේ ම කතාබහට ලක් වුණා.

ඔහු, බීබීසි සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර ඇත්තේ තමන්ට තරහක් ඇතිවන බවයි.

එම සාකච්ඡාවේ වැදගත්ම කොටස පහතින් කියවිය හැකියි.

ප්‍රශ්නය – දිගින් දිගට ම ලැබුණු පරාජයන් එක්ක අපේ කණ්ඩායමේ ගොඩක් ප්‍රශ්න ඇති වුණා. නායකයින් පවා වෙනස් වුණා. පරිපාලනයේත් ගැටලු ඇති වුණා. මේක ක්‍රීඩකයන්ට කොහොම ද බලපෑවේ?

ක්‍රිකට් කියන ක්‍රීඩාව ප්‍රශ්න තිබ්බ ම ක්‍රීඩා කරන්න අමාරුයි, මොක ද බෝලය පැයට කිලෝ මීටර් 150ට එනකොට තප්පරයක් වත් නැහැ තීරණයක් අරන් සෙල්ලම් කරන්න. ඉතින් ක්‍රීඩකයෙකුගේ මනස නිදහස් වෙන්න වෙන්න ඒගොල්ලෝ ගන්න තීරණ හරි වෙනවා. මම හිතනවා ප්‍රශ්න නැති පරිසරයක් තිබ්බොත් ක්‍රීඩකයන්ට හොඳින් සෙල්ලම් කරන්න පුළුවන් කියලා.

ප්‍රශ්නය – කණ්ඩායමේ ගැටලු තියෙනවා කියන එක ප්‍රසිද්ධ රහසක්. ඇත්තට ම කොතන ද මේ ප්‍රශ්නවලට විසඳුම තියෙන්නේ?

ක්‍රීඩකයන් අතර ප්‍රශ්න තියෙනව නම් ඒවා පෞද්ගලික ඒවා, ක්‍රිකට්වලට ඒවා අදාළ නැහැ. මම මෙච්චර කාලයක් ක්‍රීඩා කරලා මට තියෙනවා තරහක් ඇත්තට ම. මට මං ගැන තියෙනවා තරහක් ඇත්තට ම. මොකද මම සෙල්ලම් කළාට තරග දිනන්නේ නැති වුණා ම මට මං ගැන ලොකු තරහක් ඇති වෙනවා. ඒක මේ තත්ත්වේ ඉන්න ඕන කෙනෙකුට තේරෙයි. කොච්චර සීයේ ඒවා පනහේ ඒවා ගැහුවත් වැඩක් නැහැ තරගයක් දිනන්නේ නැත්නම්. එතකොට එන තරහ සාමාන්‍යයෙන් එන තරහට වඩා වෙනස්. ඒ නිසා අපි බලන්න ඕනේ මෙතන තියෙන දේවල් හදාගෙන අපි දක්ෂතා පෙන්වලා තරග දිනන්න. ඔය තරහා හැමෝට ම තියෙනව නම් මම හිතනවා ඉස්සරහට ලංකාවේ ක්‍රිකට් හිතා ගන්න බැරි තරම් උඩට යයි.

ප්‍රශ්නය – ඒ කියන්නේ තරහෙන් ගිහිල්ල ගහපු ඉනිමක්?

මම කොච්චර ලකුණු ගහලත් මට තරග දින්නන බැරි වුණා ම මට ලොකු තරහක් එනවා, මම ආවේගශීලී වෙනවා, මම බැට් කරන්නෙත් ඒ හැඟීමෙන්. ඒක හැබැයි තරගෙට විතරයි. තරගේ මැදදී මට කවුද ඉන්නේ කින්ද මන්ද කියලා තේරෙන්නේ නැහැ. පස්සේ කතාබහ කරලා ඉන්නවා.

ප්‍රශ්නය – දැන් මේ තරහ ඔයත් එක්ක විතර ද නැත්නම් පරාජය විවේචනය කරන ක්‍රීඩා ලෝලීන් එක්කත් එක්ක ද?

මට තියෙන්නේ මාත් එක්ක ප්‍රශ්නයක්. නවසීලන්තයේ මම සීයක් ගැහුවා, හැබැයි පරාදයි ඉතින් වැඩක් නැහැ. මම කවදාවත් ස්ථානය ආරක්ෂා කර ගන්න ක්‍රිකට් ගහලා නැහැ. ඒක මගේ හැටි. මට ඕනේ තරග දිනන්න. ක්‍රීඩා ලෝලීන්ට කියන්න තියෙන්නේ මේක ලැබුණු ලොකු අවස්ථාවක්. මේකෙන් අපේ ටීම් එක හොඳයි කියන එක ඔක්කොමලා විශ්වාස කරනවා. අපි මේ විශ්වාසයෙන් හොඳට ක්‍රීඩා කළොත් කලින් තිබුණු ක්‍රිකට් එක අපිට ක්‍රීඩා ලෝලීන්ට දෙන්න පුළුවන්.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ කාර්යභාරය ගැන විවිධ ගැටලු තියෙන බවටත් වාර්තා පළ වෙනවා?

පුහුණුකරුවන් ඒගොල්ලන්ට පුළුවන් උපරිමය අපිට කරනවා. නමුත් ක්‍රීඩා කරන 11 දෙනා අතේ තමයි ඔක්කොම තියෙන්නේ. අපි හොඳට කරනකොට කණ්ඩායමට හොඳ කියනවා, සමහර පැති අමතක කරනවා. මම හිතන්නේ ඔය හැම ප්‍රශ්නෙට ම උත්තර හම්බ වෙනවා අපි තරග දින්නොත්. ලොකු ගැටලු නැහැ. පොඩි පොඩි මතභේද තිබ්බෙ නැත්තේ නැහැ. නමුත් ඒවා පරාජයට මුල් වුණු හේතු නෙවෙයි කියලා මම හිතනවා. මොක ද සෙල්ලම් කරන කොට අපේ ක්‍රීඩකයෝ 100%ක් දෙනවා. ඒ නිසා පැරදෙන එකට ඒවා නෙවෙයි හේතු. තරග පැරදුණා ම ඒකේ වගකීම ගහපු 11 දෙනා ගන්න ඕනේ. අපි පැරදුණේ අපේ වැරදි නිසා ඒ නිසා ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න ඕනේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *