සර් මං වරදක් කරලා නෑ. මාව බේරගන්න කියා කළු තුෂාර කෑ ගැසුවා

වැලිකඩ බන්ධනාගාරය තුළදී සිරකරුවන් මරාදමනු ලැබුවේ ලිස්ට් එකක් වැනි යමක් අතේ තබාගෙන නම් වශයෙන් සොයමින් බවත් එය තමා දුටු බවත් මෙම නඩුවේ දෙවන සාක්ෂිකරු වන පී.කේ. කුඩා බණ්ඩාර මහතා පෙරේදා (16දා) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ තම සාක්ෂිය ලබාදෙමින් ප්‍රකාශ කර සිටියේය.

ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි හා මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව දෙවන වරටත් සාක්ෂි විභාගය සඳහා ඊයේ දින කැඳවනු ලැබීය.

නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ සාක්ෂි මෙහෙයවනු ලැබීය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා – සාක්ෂිකරු ඔබ පැවසුවා ගිය වරදී විශේෂ කාර්ය බළකාය බන්ධනාගාර භූමියෙන් පිටතට ගියා කියා පසුව කුමක්ද සිදු වුණේ.

සාක්ෂිකරු – රාත්‍රි 11.30 පමණ වන විට මට හැකි වුණා සිරකරුවන් භාරයේ තිබූ ගිනි අවි 28ක් පමණ මාගේ භාරයට ගැනීමට.

නියෝජ්‍ය සොලි. ජනරාල් _ පසුව කුමක්ද සිදුවුණේ.

සාක්ෂිකරු – මා විනය අංශයේ රැඳී සිටියේ. සෑම දෙසින්ම වෙඩි ශබ්ද ඇසුණා. අපි ගොඩක් බය වුණා. වෙඩි ශබ්ද දහස් ගණනක් ප්‍රධාන ‍ෙදාරටුව දෙසින් ඇහුනා.

නි.සො. ජනරාල් – ඉන් පසුව ඔබ කුමන පියවරක්ද ගත්තේ?

සාක්ෂිකරු – මම මා සමඟ සිටි ජේලර් ශානක නිලධාරියාගේ දුරකථනයෙන් ජයසිංහ මහතාට දැනුම් දුන්නා. ඔහු කිව්වා ආමි එකෙන් එනවා. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන්නෙ කිව්වා.

සාක්ෂිකරු – පසුව ආමි එකෙන් පැමිණියා. මා කිව්වා මට ඉහළ නිලධාරියෙක් හමුවීමට අවශ්‍ය බව. පසුව ලුතිනන්වරයකු පැමිණියා. මා ඔහුට මාගේ භාරයට ගත් ගිනි අවි ලබා දුන්නා.

නි.සො. ජනරාල් – පසුව ඔබ කුමක්ද කළේ?

සාක්ෂිකරු – මා බන්ධනාගාරයෙන් පිටතට පැමිණියා. මා දුටුවා බන්ධනාගාරයෙන් පිටත විශාල ලෙස විනාශ වී තිබූ බවට. මා බේස්ලයින් මාර්ගය දිගේ ටික දුරක් ගොස් නැවත පැමිණෙමින් සිටියා.

නි.සො. ජනරාල් – ඒ අවස්ථාවේදී ඔබ කුමක්ද දැක්කේ.

සාක්ෂිකරු – මා දැක්කා පුද්ගලයන් තුන්දෙනකු බන්ධනාගාරය තුළට විදුලි පන්දමකුත් රැගෙන යනවා. මා ඔවුන් පසුපස ගියා. පසුව මා අඳුනාගත්තා පළමුව ගිය පුද්ගලයා මෙම නඩුවේ පළමු සැකකරු වන නියොමාල් රංගජීව බව.

නි.සො.ජ. – ඔහුව පමණද අඳුනගත්තේ.

සාක්ෂිකරු – ඔව්, එම පුද්ගලයන් තිදෙනාගෙන් ඔහුව පමණයි අඳුන ගත්තේ. ඔහු සිවිල් ඇඳුමින් සිටියේ. ඔහුගේ අතේ විදුලි පන්දමක් තිබුණා.

නි.සො. ජ. – ඒ වෙලාව කීයද?

සාක්ෂිකරු – සිදුවීමෙන් පසුදා පෙරවරු 4.30 පමණ.

නි.සො.ජ. _ ඔවුන් කොහෙටද ගියේ.

සාක්ෂිකරු – ඔවුන් බන්ධනාගාරයේ චැපැල් ගොඩනැඟිල්ල දෙසට ගියා. මාත් නිහඬව ඔවුන් පසුපස ගියා.

නි.සො.ජ. – පසුව කුමක්ද සිදු වුණේ?

සාක්ෂිකරු – එම ගොඩනැඟිල්ල තුළ සිරකරුවන් බිම ඉන්දවා තිබුණා. හමුදා භටයන් පනහක් පමණ සිටියා. මා දුටුවා නියොමාල් රංගජීව වන පළමු විත්තිකරු විසින් කපිල කියන සිරකරුව විදුලි පන්දම එල්ලකර සංඥා කර නැඟිට්ටුවා. දෙවනුවට මාලන් නමැති සිරකරුවට විදුලි පන්දම එල්ලකර නැඟිට්ටුවා පසුව මංජු ශ්‍රී නමැති සිරකරුවටද විදුලි පන්දම එල්ලකර නැඟිට්ටුවා.

නියෝජ්‍ය සොලිසිටර් ජ. – පසුව කුමක්ද සිදුවුණේ.

සාක්ෂිකරු – ඔවුන් තිදෙනාව එම ගොඩනැඟිල්ලෙන් පිටතට රැගෙන ගියා මා දුටුවා.

නියෝජ්‍ය සො.ජ. – ඒ අවස්ථාවේ බන්ධනාගාරය තුළ තිබුණේ මොනවගේ වාතාවරණයක්ද?

සාක්ෂිකරු – ඉතාමත් කලබලකාරී වාතාවරණයක්.

නි.සො.ජ. – සාක්ෂිකරු කුමක්ද කළේ?

සාක්ෂිකරු – මා චැපැල් ගොඩනැඟිල්ල තුළට ගියා. එහි සෑම තරාතිරමක බන්ධනාගාර නිලධාරීන් රැස්ව සිටියා. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ, මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර නිලධාරීවරයා ඇතුළු බොහෝ නිලධාරීන් සිටියා.

නි.සො.ජ. – තව කවුද දන්න අය සිටියේ?

සාක්ෂිකරු – මැගසින් බන්ධනාගාරයේ කොමසාරිස් මෙම නඩුවේ දෙවන සැකකරු වන එමිල් රංජන් සිටියා. ඒ වගේම බන්ධනාගාර බුද්ධි අංශ ප්‍රධාන ජේලර් ඉන්දික සම්පත් සිටියා.

නි.සො.ජ. – ඔබ එතැන රැඳී සිටියාද?

සාක්ෂිකරු – නෑ. මම එතැනින් පිටවෙලා බී වාට්ටුව දෙසට යන විට ඒ අසල පුද්ගලයන් තිදෙනකු මරණයට පත්ව වැටී සිටිනවා දැක්කා. පසුව උදේ ගොස් බැලුවා. මා එවිට දැක්කේ ඒ කපිල, මාලන්, මංජු ශ්‍රී යන සිරකරුවන් බව.

නි.සො.ජ. – ඔවුන්ට කුමක්ද සිදුවී තිබුණේ?

සාක්ෂිකරු – ඔවුන්ට වෙඩි තබා තිබුණා. ඔවුන්ව එක පිට දමා තිබුණා.

නි.සො.ජ. – ඔබ එම සිරුරු දකින විට වෙලාව කීයද?

සාක්ෂිකරු – වෙලාව උදෑසන 6.30ට පමණ.

නි.සො.ජ. – ඒ අවස්ථාවේදී මොනවාද දැක්කේ.

සාක්ෂිකරු – බිත්තියේ ලේ විසිරිලා තිබුණා.

නි.සො.ජ. – පසුව කුමක්ද සිදු වුණේ?

සාක්ෂිකරු – මා බන්ධනාගාර කොමසාරිස් කොඩිප්පිලි මහතා සමඟ විනය අංශය වෙත යමින් සිටියා. ඒ අවස්ථාවේදී හමුදා නිලධාරීන් විසින් කළු තුෂාර නමැති සිරකරුව රැගෙන ගියා. කළු තුෂාර උස් හඩින් කෑ ගසනව මට ඇසුණා.

නි.සො.ජ. – කුමක් කියාද තුෂාර කෑගැසුවේ.

සාක්ෂිකරු – “සර් මං වරදක් කරලා නෑ. මාව බේරගන්න” කියා කෑගැසුවා. ඔහුව රැගෙන ගොඩනැඟිල්ලක් වෙත ගියා. ඔවුන් පසුව වෙඩි ශබ්ද 2ක් පමණ ඇසුණා. ඒ අවස්ථාවේදී මා සමඟ සිටි කොඩිප්පිලි මහතා “හා හා කළු තුෂාරත් ඉවරයි” යනුවෙන් පැවසුවා.

මේ අනුව ඊයේ දින විශ්‍රාමික බන්ධනාගාර සහකාර අධිකාරි පී.කේ. කුඩාබණ්ඩාර මහතා අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

වැඩිදුර සාක්ෂි විභාගය සඳහා මෙම නඩුව නැවත ලබන 18 වැනි දින කැ¼දවීමට විනිසුරු මඬුල්ල එහිදී නියෝග කළහ.

ඉකුත් 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළදී සිරකරුවන් පිරිසක් මරා දැමීම පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව, හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් හා බන්ධනාගාර බුද්ධි අංශ ප්‍රධාන ජේලර් ඉන්දික සම්පත් යන චූදිතයන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *