ලංකාවේ පළමු කොරෝනා ආසාදිතයා ‘වාර්තා වී’ මාස 4ක් ගෙවෙන අද වන විට සිදු වූ දේ

මෙරට පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වී අදට මාස 4ක් ගත වනවා.

ඒ, වෛරසය දැඩි ලෙස පැතිරුණු ඉතාලියෙන් පැමිණි සංචාරකයන්ට මඟ පෙන්වූ 52 හැවිරිදි පුද්ගලයෙකුට කොවිඞ් 19 ආසාදනය වීමත් සමඟයි.

මේ අතර, දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ මෙරටින් වාර්තා වුණා.

ඒ, නව ආසාදිතයින් 300ක් වාර්තාවීමත් සමඟයි.

ඊයේ රාත්‍රියේ තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවූ එක් රැදවියෙක්, කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයෙකු සමීපතම ඇසුරු කළ 3 දෙනෙකු, මෙන්ම ඉන්දියාව, පාකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි 13 දෙනෙකු ඊට අයත්.

මේ අතර, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට පසුගිය මස ජුනි 26 වනදින පුනරුත්ථාපනය අවසන් කිරීමෙන් අනතුරුව නිවසට පැමිණි අම්බලන්තොට ප්‍රදේශයේ තරුණයාගේ පී.සී.ආර්. පරීක්ෂණ අද සිදුකිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම, ඔහුගේ නිවසේ තවත් සාමාජිකයින් දෙදෙනෙකුගේ ද පී.සී.ආර්. පරීක්ෂණ ඒ සමඟ සිදුකිරීමට කටයුතු කර ඇති බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි යූ.පී. මාලක කියා සිටියේ.

එමෙන්ම, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ගිය 13 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඔවුන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබූ අතර, එළඹෙන 14 වන දිනෙන් පසුව ඔවුන්ගේ ද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට අවධානය යොමුකරන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත්, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලා සිටියේ වෛරසය සමාජගත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බැවින් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසයි.

මේ අතර, මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වන විට 2454ක් ලෙස දැක්වෙන අතර ඉන් 1980දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *