වෙඩි ප්රහාරයකට ලක්වී ඝාතනයට ලක්වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු හා හෙරොයින් ජාවාරම්කරුවකු වූ එස්.එෆ්. ලොක්කාගේ ඝාතනය සම්බන්ධයෙන් ‘මතුගම ශාන්’ නමැති පාතාල කල්ලි සාමාජිකයකගෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පැය තුනකට අධික කාලයක් ප්රකාශ ලබාගෙන තිබෙනවා.
අනුරාධපුර, දහයියාගම හන්දිය කාර්මික පෙදෙසේ පදිංචිව සිටි ලෝක ශූර කරාතේ ක්රීඩකයකු වූ වසන්ත සොයිසා ඝාතනයේ ප්රධාන සැකකරු වූ ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා නොහොත් දහයියාගම ලොකු මල්ලි නමැත්තා පසුගිය අගෝස්තු මස 05දා අනුරාධපුර, දහයියාගම හන්දිය දුම්රිය ආරක්ෂ ගේට්ටුව ආසන්නයේදී එල්ල වූ දරුණු වෙඩි ප්රහාරයකින් බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වුණා.
ඒ ඔහු සිය අනියම් බිරියක් සමඟින් සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී.
ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මාස දෙකකට ආසන්න කාලයක් අඛණ්ඩව සිදුකරන පොලිස් පරීක්ෂණ හමුවේ ‘මතුගම ශාන්’ නමැත්තා විසින් ඔහු ඝාතනය කළ බවට පොලිසියට ලැබී තිබූ තොරතුරුවලට අනුව ඔහු පොලිස ස්ථානයට ගෙන්වා ප්රකාශ ලබා ගැනීම සිදුකර තිබෙනවා.
එහිදී ඔහු පොලිසියට පවසා තිබුණේ තමන් එස්.එෆ්. ලොක්කා නමින් හඳුන්වන ඝාතනය වූ පුද්ගලයා කිසිදු අවස්ථාවක ආශ්රය කර නොමැති බවත් ඔහු හඳුනන්නේ නැති බවත් ඔහු සමඟ කිසිදු ආරවුලක් පසුගිය සමයේ නොතිබූ බවත්ය.
තමන්ට ඔහුව ඝාතනය කිරීමට ආරවුලක් තිබිය යුතු වුවත් නාඳුනන ඔහු සමඟ කිසිදු සබඳතාවක් නොවූ නිසා එම චෝදනාවන් බැහැර කරනා බව ඔහු පොලිසියට පවසා තිබුණා.
පැය තුනකට ආසන්න කාලයක් පොලිසිය ඔහුගෙන් ප්රකාශ ලබාගෙන පොලිසිය නැවත දැනුම් දීමක් සිදුකළ හොත් වහාම පොලිස් ස්ථානය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් මුදාහැර තිබුණා.
එස්.එෆ්. ලොක්කා ඝාතනය කිරීම අබිරහසක් බවට පත්ව තිබුණත් ඔහුව පාතාල කල්ලියක සාමාජිකයන් පිරිසක් විසින් ඝාතනය කරන්නට ඇති බවට තරයේ විශ්වාස කළ හැකි බව පරීක්ෂණ සිදුකරන පොලිසිය පවසනවා.
ඝාතනයට ලක්වූ එස්.එෆ්. ලොක්කා හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් ඉහළ තලයකට පැමිණීම නිසා ඔහු ඉදිරි කාලයකදී කුප්රකට පාතාල කල්ලි නායකයන් අභිභවා ප්රබල හෙරොයින් ජාවාරම්කරුවකු වේ යැයි සිතූ කිසියම් පාතාල කල්ලි කණ්ඩායමක් ඔවුන්ගේ දක්ෂ වෙඩික්කරුවකු ලවා ඝාතනය සිදුකරවන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.