කවුරුත් පතුරු යවන හතුරු ගැන සංගා එදා කී දේ

අටලෝ දහම පිළිබඳ උදාහරණයක් බවට පත්වෙමින් මෙයින් දෙවසරකට පෙර මහත් ඉහළින් ප්‍රශංසා ලැබූ චන්දික හතුරුසිංහ අද වන විට නින්දා අපහාස ලබමින් සිටියි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දණගාමින් සිටි බංගලිදේශයට දෙපයින් නැගී සිට ලෝකයේ ක්‍රිකට් දැවැන්තයන්ට අභියෝග කරන තැනට හතුරුසිංහ විසින් ගෙන එද්දී ‘හතුරු අපූරුයි’ කියමින්, බංගලිදේශය සමග ඔහුගේ නියමිත කොන්ත්‍රාත් කාලය අවසන්වීමටද මත්තෙන් ඉතාම තදියමින් ඔහුව මෙරටට ගෙන්වාගැනීමට මෙරට ක්‍රිකට් පාලනාධිකාරිය කටයුතු කළේය. ‘සියරට දේ සිරිසැප දේ’ යැයි සිතූ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් 2019 ක්‍රිකට් ලෝක කුසලානට මාස 20ක පමණ කාලයක් ඇතිව ඔහුව කණ්ඩායමේ පුහුණුකරු බවට පත්කළේ මෙරට ක්‍රිකට් ලෝලියා වෙත සුවහසක් බලාපොරොත්තු පිරිනමමිනි.

නමුත් මාස 17ක ඇවෑමෙන් සියල්ල උඩි යටිකුරු විය. පැණිවරකා ගසට හෙණ වැදුණි. එතෙක් කාලය තුළ හතුරුසිංහගේ පුහුණු උපදෙස් යටතේ ශ්‍රී ලංකාව තරගවැදුණු ජාත්‍යන්තර තරග 49ක් අතුරින් ජයගැනීමට හැකිවූයේ තරග 16ක් පමණි. අවාරයට පොල් වැටෙන අයුරින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ පිළිබඳ වාර්තා වෙද්දී ‘තිත්තයි අනේ තිත්තයි මී වදේ පැනී’ යැයි කියමින් මෙම දකුණු අප්‍රිකානු සංචාරය ක්‍රියාත්මක අතරතුරම හතුරුසිංහව පුහුණුකරු වගකීමෙන් ඉවත්කර මෙරටට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු ක්‍රියා කළහ.

හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගිවිසුම්ගත වූ 2020 දක්වා බලපැවැත්වෙන ඔහුගේ සේවය සම්බන්ධයෙන් වන කොන්ත්‍රාත්තුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හකුලාගැනීමට සැරසෙන්නේ යැයි මේ වන විට රාවයන් පැතිර යයි. සිතු දේ නොමවී නොසිතූ දෙයක් සිදුවෙමින් පවතින මේ අවස්ථාවේදී අපට පැනනැගෙන ගැටලුව වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ මෙම පරිහානියට සහමුළින්ම වගකිවයුත්තේ හතුරුසිංහද යන්නයි. එපමණක් නොව හතුරුසිංහ ඉවත් කළ පමණින් සියල්ල විසඳේද යන්නයි. එපමණක්ද නොව පුහුණුකරුවකු ලෙසින් ක්‍රමිකව සහ අඛණ්ඩව ඉහළටම පැමිණි හතුරුසිංහට තමන් උපන් රටේදී මෙවැනි ‘කෙළියක්’ වුණේ මන්ද යන්නයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග හතුරුසිංහගේ වත්මන් ප්‍රතිඵල ගැන විමසීමට ප්‍රථමයෙන් පුහුණුකරුවෙකු ලෙසින් හතුරුසිංහගේ අතීතය විමසා බැලිය යුතුය. එදා වර්ෂ 2005 දී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් පත්ව එතැන් පටන් වසර කිහිපයක් අඛණ්ඩව ඔහු රැඳී සිටියේය. පුහුණුකරුවෙකු ලෙසින් ඔහුගේ හැකියාව වඩාත් ඉහළ මට්ටමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දායක කරගත යුතු යැයි එවක ජාතික කණ්ඩායමේ නායකයා වූ කුමාර සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව 2010 වසරේදී එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වූ ට්‍රෙවෝ බෙලීස්ගේ සහයකයා ලෙසින් හතුරුව ජාතික කණ්ඩායමේ සේවයට එක්කරන ලදී.

නමුත් 2010 වසරේ සිම්බාබ්වේ පැවැති තුන්කොන් තරගාවලිය අතරතුර එහි අවසන් මහා තරගයට පෙර ප්‍රධාන පුහුණුකරු බේලීස් සහ කණ්ඩායම් කළමනාකරු වූ අනුර තෙන්නකෝන්ගෙන් අවසර ගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන හතුරුසිංහ, අදියර 3 පුහුණුකරු පාඨමාලාව සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය. නමුත් මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ප්‍රධානියාට ඒ පිළිබඳව නිසි පරිදි දැනුම් නොදුන් බවට චෝදනා කරමින් හතුරුසිංහව වහාම සේවයෙන් අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය කටයුතු කළේය. එහිදී හතුරුසිංහට ලිහිලක් දෙන ලෙස ඉල්ලමින් සංගක්කාර විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිඛිත ඉල්ලීමක් කළේය. ඒ මෙසේය.

‘මා සමග මෙතෙක් කටයුතු කළ විදේශීය පුහුණුකරුවන් කිසිවකුට දෙවැනි නොවන තාක්‍ෂණික සහ උපායමාර්ගික ඥානයක් ඇති දේශීය පුහුණුකරුවකු හමුවීම නැවුම්ම වෙනසක් විය. චන්දික අප සමග එක්වූ දා පටන් ඔහුගෙන් ලැබුණු දායකත්වය අප හිතුවාටද වඩා ඉහළ මට්ටමක විය. පිතිකරු තාක්‍ෂණය ලබාදීමේ ඔහුගේ විශේෂඥභාවය මා විසින්ම අත්දුටුවේය. ඔහුගේ තාක්‍ෂණික උපදෙස් පන්දුයවන්නන් හට අතිශයින් ප්‍රයෝජනවත් විය. ඔහු විසින් ලබාදෙන අපූර්ව අනුබලය යටත් ඕනෑම අභියෝගයකට මුහුණදීමට සහ එය ජයගැනීම පිණිස කණ්ඩායමේ මානසිකත්වය ගොඩනැගෙමින් පැවතුනි. එසේම ඔහුගේ යෙදීම සමස්තයේ උපාය ඥානය පිණිස වැදගත් විය.

ඔහුගේ ප්‍රවේශය හැමවිටම ධනාත්මක සහ ශක්තිමත් එකක් විය. ක්‍රීඩකයාගේ ස්වභාවය කුමක්ද යන්න පිළිබඳව නොසලකා ඔහු සෑම ක්‍රීඩකයකුටම එක හා සමානව සැලකුවේය. ඔහුගේ ඒ ගුණය විසින් කණ්ඩායමේ සෑම ක්‍රීඩකයකුගේම ගෞරවය ඔහු වෙත දිනා දෙන ලදී. ඔහුගේ චින්තනය නිර්මාණශීලී විය. එය හැමවිටම ජයග්‍රහණය දෙසට නැඹුරු කළේය. අප හමුවට එන අභියෝගය, අපගේ කුසලතා පරීක්‍ෂණයක් ලෙසින් අත්විඳීමට මෙම ධනාත්මක දෘෂ්ටිය අපට උපකාර විය. සැණින් කලබල වන අප රැඳී සිටින ක්‍රීඩාගාරය හැමවිටම තැන්පත් බවින් යුතුව තබාගනිමින් සබුද්ධිකව තීරණ ගැනීමට ඔහුගේ තැන්පත් බව මහෝපකාරී විය.

චන්දිකගේ සේවය නැවත ලබා ගැනීම පිළිබඳව මගේ උන්න්දුව සහමුළින්ම ආත්මාර්ථකාමී වූවකි. හොඳම කෙනාගෙන් පුහුණුව ලබන කණ්ඩායමේ අයෙක් වීමට මට අවශ්‍යය. එසේම චන්දික යනු නිසැක වශයෙන්ම අපූරු පුහුණුකරුවෙකි. 2011 ලෝක කුසලානෙන් අනතුරුව එළැඹෙන අනාගතයේදී ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වීමේ හැකියාව ඔහු සතු බව මම තරයේ විශ්වාස කරමි. එසේම චන්දික අපගේ පුහුණු කණ්ඩායමේ සාමාජිකයකු ලෙසින් සිටීම 2011 ලෝක කුසලාන දිනාගැනීමට පිණිස අපට ඇති අවස්ථාවට මනා උත්තේජනයක් වනු ඇති බවත් මම වැඩිදුරටත් විශ්වාස කරමි’

එදා ජාතික කණ්ඩායමේ නායකයා ලෙසින් සංගක්කාර විසින් කළ මෙම ඉල්ලීමට එවක ක්‍රිකට් පරිපාලනයෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි. හතුරුසිංහ ඔස්ට්‍රේලියාවට ගියේය.

ඔහු පුහුණුකරුවෙක් ලෙසින් සිය සේවය එරටට ලබාදුන්නේය. හතුරුසිංහගේ පුහුණුකාරීත්වය පිළිබඳ නිර්දේශය එරටට ලබාදුන්නේ ට්‍රෙවෝ බේලීස් විසිනි. හතුරු එහිදී නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරමින් එරට දේශීය පළමු පෙළ තරගාවලිය වන ෂෙෆීල්ඞ් පළිහ (2013-2014) දිනාගැනීම සඳහා එම කණ්ඩායම මෙහෙයවීය.

අනතුරුව 2014 මැයි මාසයේදී, පෝල් ෆාබ්‍රේස්ගෙන් හිස්වූ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු ධුරය තමන් වෙත ලැබේ යැයි ඔහු අපේක්‍ෂාවෙන් සිටියද, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලකයන්ට එවරද ඔහුව නොපෙනුණි.

එසැනින් බංගලිදේශය විසින් හතුරුසිංහට නිසි තැන දුන්නේය. ඔහු නොසිතූ තරම් ඉහළට එරට ජාතික කණ්ඩායම රැගෙන ගියේය. හතුරුසිංහගෙන් ගුරුහරුකම් ලැබූ බංගලිදේශය විසින් ටෙස්ට් මෙන්ම සීමිත පන්දුවාර අංශයේද ශ්‍රී ලංකාව පරාජය කරන ලදී. ප්‍රබල ඉන්දියාවද, දකුණු අප්‍රිකාවද, පකිස්තානයද, එංගලන්තයද ආදී වශයෙන් තමන්ට ඉහළින් සිටි සෑම කණ්ඩායමකටම පාහේ බංගලිදේශය විසින් සාර්ථකව අභියෝග කරමින් සිටියදී හතුරුසිංහව රතු පලස් එලා මෙරටට ගෙන්වාගැනීමට බලධාරීහු ක්‍රියාත්මක වූහ.

නමුත් මාස 17ක ඇවෑමෙන් අද හතුරුසිංහ යනු රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ ‘සුදු අලියෙක්’ලෙසින් හඟවමින් ඔහුව පසෙකට කරමින් සිටියි. ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඉකුත්දා දකුණු අප්‍රිකාවේදී ලැබූ සිය ඓතිහාසික ජයග්‍රහණයේ ගෞරවය පුහුණුකරු වෙත පුදද්දී, ඉන් අනතුරුව එළැඹුණු එක්දින තරගාවලිය අවසානයේ ඒ පුහුණුකරුට අසාර්ථකත්වයේ ලේබලය ගසා ඔහුව මෙරටට කැඳවයි. එක්දින තරගාවලිය පැරදුණු බව සැබෑය. මේ වසරේ එකදිගට එක්දින තරග පැරදුණු බවද සැබෑය. මෙය නවතාලීමට ප්‍රතිකර්මයක් යෙදිය යුතු බවද සැබෑය. නමුත් ඒ සඳහා බිලි දිය යුත්තේ එදා සංගක්කාර විසින් ඵවැනි වර්ණනාවකට ලක්වූ, ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාවේදී අර වැනි හපන්කමක් කර, ඉනික්බිති බංගලිදේශයේදී අදහාගත නොහැකි පෙරළි කළ හතුරුසිංහ නම් පුහුණුකරුවාගේ දිවියද?

එදා 2011 දී හතුරුසිංහට ජාතික කණ්ඩායමේ පුහුණුකාරීත්වයේ අවස්ථාව අහිමිකිරීමේ සිට මේ දක්වා, ගෙවුණු දශකයක කාලයේදී වසර 2ක කාලයක් එක දිගට කණ්ඩායම පුහුණුකිරීමේ අවස්ථාව ලැබූ එකදු පුහුණුකරුවෙක් හෝ සිටීද? එතෙක් මෙතක් කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවන් ලෙසින් 9 දෙනෙක් පත්ව ඇත.

ඒ අනුව කිසිම පුහුණුකරුවකුට කණ්ඩායම තමන්ට අවශ්‍ය පරිදි ගොඩනගාගැනීමට ප්‍රමාණවත් කාලයක් ලැබී තිබේද? ගෙවුණු වසර දෙකක කාලය තුළ ජාතික කණ්ඩායමට නායකයන් කී දෙනෙක් පත්වීද? නායකත්වය උදෙසා කුලල් කා ගැනීම් ගෙවල් වල සිටින ගැහැනුන් දක්වාම නොගියේද? 2015 ලෝක කුසලාන අවසානයේ සිට මේ දක්වා එක්දින කණ්ඩායමට ක්‍රීඩකයන් 50කට ආසන්න සංඛ්‍යාවක් විටින් විට කැඳවන්නට සිදුවූයේ හතුරුසිංහ නිසාමද? මේ සියල්ලට වරදකරු හතුරුසිංහ නම්, ගෙවුණු වසර කිහිපයේ මේ රටේ ක්‍රිකට් සහමුළින්ම කරවා ඇත්තේ හතුරුසිංහම විය යුතුය. එවිට ඉකුත් සමයේ මේ රටේ තේරීම් කමිටුවක් නොතිබුණේද? කණ්ඩායමේ අනෙකුත් ගැටලු විසඳීමට කණ්ඩායම් කළමනාකරුවන් නොසිටියේද? වෙනකක් තබා මේ රටේ ක්‍රිකට් පරිපාලනයක් නොතිබුණේද?

හතුරුසිංහ යනු සර්වසම්පූර්ණ අයෙකු නොවන බව සැබෑය. නමුත් ඔහුව සියල්ලට වැරදිකරු ලෙසින් දක්වා ‘බිලී බෝයි’ බවට පත්කර සියල්ලන් අත්පිහිදා ගැනීම වටින්නේද? වසර ගණනාවක් පුරා සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වූ හතුරුසිංහ නම් ‘පුහුණුකාරීත්වයේ දේශීය සාඩම්භරය’ තවදුරටත් අනාගතයක් නොමැතිවන තරමටම තමන්ගේම රටේදී තමන්ගේම මිනිසුන් විසින් නන්නත්තාර කර දැමුවේද? හතුරුසිංහ විසින් රටේ ක්‍රිකට් අනුභව කළේද? නැතිනම් රටේ ක්‍රිකට් විසින් හතුරුසිංහව අනුභව කළේද?

– ඉන්ද්‍රජිත් සුබසිංහ –

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *