අමල් සහ නදීමාල්ට මොකද වෙන්නෙ?

‘මල් පිට මල් හැලෙන දිගු මාවතේ.. පිය මත පිය තබමින් හිනැහෙන නුඹේ.. ඉඟි නළුවට වශීවී..’ මෙම ගීතය ගායනා කරන්නේ කවුරුන් දැයි කියා විමසුවහොත් තරුණ වියේ සිටින බොහෝ දෙනකු නොපැකිලිව ඊට පිළිතුරු ලෙස අමල් පෙරේරා යැයි කියනු ඇත.

අමල් පෙරේරා යනු කාගේ කවුරුන් දැයි කියා විමසුවහොත් ඔහු ප්‍රවීණ ගායන සහ සංගීත අධ්‍යක්ෂ මර්වින් පෙරේරා ගේ පුතෙක් යැයි පැවසීමට තරම් තොරතුරු දන්නා තරුණ තරුණියෝ ද සිටිති.

‘මා නළවා මා සනසා, ඔබ දේදුන්න ආකාසයේ, මේ නගරය ඔබ මා මුණගැසුණු නගරයයි’ ඇතුළු දශක ගණනක් අප අතර ජනප්‍රියත්වයට පත්ව ඇති ගීත ගායනා කර ඇති මර්වින් පෙරේරා ගැන වර්තමාන තරුණ පරපුර තුළ එතරම් අවබෝධයක් නැතත් අමල් පෙරේරා මෙම ගීතත් ගායනා කරන බව දනිති.

අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා පිළිබඳව වයස අවුරුදු 16 – 18 වියේ පසුවන වත්මන් පරපුර හොඳින් දනිති.

ඔහු ගයන ‘මායම් කලාවේ සායම් සිනාසේ’ ඇතුළු ගීත රැසක් වත්මන් තරුණ පරපුර අතර ජනප්‍රියත්වයට පත්ව තිබේ.

70 දශකය, 90 දශකය සහ 2010 දශකය යන යුග තුනක් රසික රසිකාවියන් පිනවන්නට සමත් වූ මෙම සංගීත පරම්පරාව ගැන මෙලෙස සිහිපත් කරන්න සිදු වූයේ හෙට දවසේ ඔවුන් එළිදක්වන නවතම නිර්මාණයක් ගැන පැවසීමට පූර්ව කථනයක් ලබාදීමේ අරමුණින් නොවීම කනගාටුවට කරුණකි.

ඉකුත් පෙබරවාරි මස 12 වැනිදා සමාජ ජාලා වෙබ් අඩවිවල පළවූ ප්‍රවෘත්තියකට අනුව අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඩුබායිහි හෝටලයක පැවැති සාදයකදී කොකේන් නමැති මත්ද්‍රව්‍ය පානය කිරීම සම්බන්ධ චෝදනා මත ඩුබායි පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සමඟ එම සාදයේදී අත්අඩංගුවට ගත් අය අතර රංගන ශිල්පී රයන් වැන් රොයාන් සහ ශ්‍රී ලංකාවේ පාතාල නායකයකු වන මාකඳුරේ මධුෂ් නමැත්තා ද සිටිති.

මොවුන් සියලූ දෙනා සමඟ අත්අඩංගුවට ගත් පිරිස 31 දෙනෙකි. ඒ අතුරින් 18 දෙනකුට කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කළ බවට කෙළින්ම චෝදනා එල්ල වී තිබේ.

බූරුවා පොළේ සිටියත් එකයි බූරුවා ගැසුවාත් එකයි යන චෝදනාව හා සමානව කොකේන් පානය කළ පිරිසත් පානය නොකළ පිරිසකුත් මේ වනවිට ඩුබායිහි පොලිස් රැඳවුම් මැදිරියක සිටිති.

මොවුන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳව සාක්ෂි ලබා ගැනීම සඳහා ඩුබායි පොලිසිය ඔවුන් සියලූ දෙනාගේ රුධිර පරීක්ෂාවන් සහ මුත්‍රා පරීක්ෂාවන් සිදු කිරීමට පියවර ගෙන ඇත.

ඔවුන් අත්අඩංගුවට පත්වූ පෙබරවාරි 12 වැනිදා සිට මේ දක්වා සිදුව ඇති විමර්ශන පිළිබඳව අමල් සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්ධික වෙල්ලප්පිලි මහතා පවසන්නේ මෙසේය.

අමල් සහ නදීමාල් අත්අඩංගුවට පත්වූ බවට තොරතුරු ලැබීමත් සමඟ අමල්ගේ බිරිඳ වන නදීශා සජානී සිල්වා මහත්මිය මගෙන් ඉල්ලා සිටියා තම සැමියා සහ පුතා වෙනුවෙන් පෙනී සිටින ලෙසට. ඒ අනුව මම ඔවුන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටීමට ඩුබායි බලා පිටත්ව ගියා. ඒ සඳහා මුදල් ලබා දුන්නේ අමල්ගේ මිත්‍රයින්.

මමත් අමල්ව කාලයක සිට හඳුනන නිසා ලියකියවිලිවලට යන වියදම් පමණක් ලබාගෙන පෙනී සිටිනවා.

ඩුබායි පොලිසිය මට අමල් සහ නදීමාල් වෙනුවෙන් පෙනී සිටීමට අවසර ලබා දුන්නා. ඒ අනුව මම ඔවුන් සම්බන්ධව තොරතුරු විමසීමකට ලක් කළා. ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ කොකේන් නමැති මත්ද්‍රව්‍ය භාවිත කිරීමයි. ඒ සඳහා එරට නීතිය අනුව ඇති දඬුවම වන්නේ වසර තුනක උපරිම සිර දඬුවමක් හෝ ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ පහක පමණ මුදල් දඩයක් නියම කිරීම හෝ මෙම දඬුවම් දෙකම නියම කිරීමය.

යම් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් පසු දින 21 ක් පොලිසිය භාරයේ රඳවා ගැනීමට ඩුබායි නීතිය අනුව අවසර ලැබෙනවා. ඉන්පසු ඉදිරි විමර්ශන කටයුතු අවසන් වන තුරු පොලිස් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබාගත හැකියි. එසේ රඳවා තබා ගැනීම සඳහා මාසයෙන් මාසයට උසාවියේ අවසරය ලබාගත යුතුයි.

පසුගිය පෙබරවාරි 28 වැනිදා දක්වා අමල් සහ නදීමාල් ඇතුළු පිරිස පොලිස් භාරයේ තබාගෙන පරීක්ෂණ කටයුතු සිදු කරනු ලැබුවේ එම නීතියට යටත්වයි. එම කාලය තුළ ඔවුන් සම්බන්ධව සිදු කළ රුධිර සහ මුත්‍රා පරීක්ෂණ වාර්තා ලැබේ යැයි කියා අප විශ්වාස කළා. නමුත් මුත්‍රා පරීක්ෂණ වාර්තාව ලැබීම ප්‍රමාද වීම නිසා මාර්තු මස 28 වැනිදා දක්වා තවදුරටත් ඔවුන් රැඳවුම් මැදිරියේ තැබීමට ඩුබායි උසාවිය නියෝග කර තිබෙනවා. නීතිඥ ශාබ්ධික වෙල්ලප්පිලි මහතා සඳහන් කළේය.

දැනට ලැබෙන නිල නොවන ආරංචි අනුව රුධිර පරීක්ෂාවන් ලැබී ඇත.

පෙබරවාරි 28 වැනිදා උසාවියෙන් ලද නියෝගය අනුව ඉදිරියේදී ගත යුතු පියවර සම්බන්ධව කටයුතු කිරීම සඳහා ඩුබායි වෙත යෑමට නීතිඥ ශාබ්ධික වෙල්ලප්පිලි මහතා මාර්තු 02 වැනිදා බලාපොරොත්තු වුවද ඒ සඳහා අවශ්‍ය ගමන් වියදම් දැරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූවක් මත ඔහුට එම ගමන අවලංගු කිරීමට සිදුව ඇත.

අමල් සහ නදීමාල්ට ඩුබායි සංගීත සංදර්ශනයක් සඳහා ආරාධනා කර ඇත්තේ ඔහු දන්නා හඳුනන හිතවතෙක් බව වාර්තා වේ. අත්අඩංගුවට පත්වූ පිරිස අතර ඔහු ද සිටින බව සඳහන් වේ.

කිසියම් පුද්ගලයකු ජනප්‍රියත්වයට පත්වූ විට ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය ගැන ද බොහෝ දෙනාගේ අවධානයට ලක් වේ. කලාකරුවන්ට මෙය අතිශය සමීපය. ඒ නිසා අමල් සහ නදීමාල්ගේ පෞද්ගලික ජීවිතයට හා සම්බන්ධ මෙම සිදුවීම ගැන ද ඔවුන්ගේ රසික රසිකාවියෝ දැඩි උනන්දුවකින් පසු වෙති.

මාර්තු 28 වැනිදා යළි සිදු වන්නේ කුමක්දැයි කියා ඔවුහු විමසිල්ලෙන් බලා සිටින්නේ ද එබැවිනි. එල්ල වී ඇති චෝදනාවලින් ඔවුන් දෙදෙනා නිදහස් වේවිද? නැති නම් සිර දඬුවම් හෝ මුදල් දඩයක් නියම වේවිද? එසේත් නැති නම් මෙම දඬුවම් දෙකම ලැබේවිද? ඔවුන්ගේ රසික රසිකාවියෝ විමසති. මෙය ඔවුන්ගේ කලා දිවිය සම්බන්ධ තීරණාත්මක මොහොතකි.

ඔවුන්ට එල්ල වී ඇති මත්ද්‍රව්‍ය චෝදනා සහ ඔවුන් සමඟ සිටි පාතාල සාමාජිකයන් නිසා මේ වනවිට ඔවුන්ගේ රසික රසිකාවියන් සහ හිතවතුන් සිටින්නේ ද දෙගිඩියාවෙනි. එයට පිළිතුරු ලබා ගැනීමට තවත් මාසයක් බලා සිටීමට සිදුව ඇත.

– උපාලි ද සේරම් –

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *