හැරී කුමරුගේ බිරිය මේගන් දරු ප්‍රසූතියට තෝරාගන්න තැන ගැන කසුකුසුවක්

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිය මේගන් මාර්කල් යනු රජ පවුලේ ජනප්‍රියම සාමාජිකයන් දෙදෙනකු බව රහසක් නොවෙයි. මේ දෙදෙනා සාමාන්‍ය ජනතාවට වඩාත් සමීප වීමට නිතර උත්සාහ කරන දෙදෙනකු බව පෙනෙන අතර මේ නිසාම ඔවුන් බොහෝ දෙනකුගේ ආදරයට පාත්‍ර වී සිටින බවත් පෙනෙනවා. පසුගිය වසරේ මැයි මාසයේ පැවැති ඔවුන්ගේ විවාහ උත්සවයද ලොව පුරා මහත් අවධානයක් දිනාගත් උත්සවයක් වුණා.

මේ දිනවල නැවතත් හැරී සහ මේගන් ගැන විශේෂ අවධානයක් යොමුවෙමින් තිබෙනවා. එයට හේතුව නම් මේගන් ඇයගේ පළමු දරු ප්‍රසූතිය සඳහා සූදානම් වෙමින් සිටීමයි. වෛද්‍යවරුන් පවසා ඇති අන්දමට ඇයගේ දරු ප්‍රසූතිය සිදුවීමට නියමිතව ඇත්තේ ලබන අප්‍රේල් මාසයේයි. මේ නිසා බොහෝ දෙනෙක් මේ දිනවල ඇය වෙත ඇස ගසාගෙන සිටින ආකාරයක් දකින්න පිළිවන්. මාධ්‍ය තුළද ඇයගේ දරු ප්‍රසූතියට අදාළ තොරතුරු නිතර පළවෙන ආකාරය දැකිය හැකියි. මේගන්ට ලැබීමට සිටින්නේ පුතකුද, දුවකද යන්න දැනගැනීමටත් බොහෝ දෙනකු තුළ ලොකු කුතුහලයක් තිබෙන බව පෙනෙනවා. තම කුසෙහි සිටින්නේ පුතකු බව මේගන් ඇගේ සමීප මිතුරියන් සමඟ පවසා ඇති බවක් පසුගිය දිනවල මාධ්‍ය තුළ සඳහන්ව තිබුණා.

මේ දිනවල කතාබහට ලක්වන තවත් ප්‍රධානම කාරණයක් වී ඇත්තේ මේගන් දරුවා බිහි කරනු ඇත්තේ කොහේදීද යන්නයි. ඇයගේ නෑනණ්ඩිය වන කේට් (විලියම් කුමරුගේ බිරිය) ඔවුන්ගේ දරුවන් තිදෙනාම බිහි කළේ ලන්ඩනයේ පිහිටි ශාන්ත මරියා රෝහලේදීයි. ඉතාම සුඛෝපභෝගී රෝහලක් ලෙස සැලකෙන මෙහි කේට් කුමරිය සඳහා වෙන් කළ කාමරය වෙනුවෙන් දිනකට ස්ටර්ලිං පවුම් 7,000ක ගාස්තුවක් ගෙවන ලද බව පැවසුණා. එය ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 17කට ආසන්න ගාස්තුවක්. පෞද්ගලික කෝකියන් යොදා ගැනීමට හැකි වීම ඇතුළු පහසුකම් රැසක් මෙහිදී හිමි වන බව සඳහන්. කෙසේ වෙතත් මේ වනවිට දැනගන්නට ඇත්තේ මේගන් සිය දරු ප්‍රසූතිය සඳහා මෙම රෝහලට ඇතුළත් නොවීමට ඉඩ ඇති බවයි.

මෙයට සති කිහිපයකට පෙර පැතිරුණු ආරංචියකින් කියැවුණේ ඇය රෝහල්ගත වීමකින් තොරව නිවෙසේදීම දරුවා බිහි කිරීමට කැමැත්තෙන් සිටින බවයි. නමුත් පසුව මෙම අදහස වෙනස්වී ඇති බවකුත් පෙනුණා. මේ අතර ලන්ඩන් නුවරින් කි.මී. 50ක් පමණ ඈතින් පිහිටි සරේ (Surrey) නමැති ප්‍රදේශයේ ෆ්‍රිම්ලි පාක් (Frimley Park) නමැති රෝහලක් දරු ප්‍රසූතිය සඳහා තෝරාගෙන ඇති බවකුත් පැවසුණා. එය තෝරා ගැනීමට හේතුවී තිබුණේ හැරී සහ මේගන් දැනට වාසය කරන ලන්ඩනයේ කෙන්සින්ටන් මාලිගයෙන් පිටව සරේ ආසන්නයේ නිවෙසක පදිංචියට යෑමට සූදානම් වෙමින් සිටීමයි. ෆ්‍රිම්ලි පාක් රෝහල මෙම නව නිවෙසට වඩාත් කිට්ටුව පිහිටා තිබෙන්නක් බවයි පැවසෙන්නේ.

හැරී සහ මේගන් මේ ආකාරයෙන් නව නිවෙසක පදිංචියට යන්නේ විලියම් සහ කේට් සමඟ ඇති ගැටුම් නිසා බවටත් කටකතා පැතිරෙමින් තිබුණා. රජ පවුලට අයත් තවත් මාලිගයක් වන වින්ඩ්සර් මාලිගය ආසන්නයේ පිහිටි ඉහත කී නිවෙස මේ වනවිට අලුත්වැඩියා කරමින් ඇති අතර එම කටයුතු නිම වීමෙන් පසු හැරී සහ මේගන් එහි පදිංචියට යනු ඇති බවයි සඳහන් වන්නේ. කෙසේ නමුත් මේගන්ගේ දරු ප්‍රසූතිය සිදුවන ස්ථානය ගැන තවමත් නිශ්චිත තොරතුරක් රජ මාලිගය පැත්තෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත්ව නැති බවත් සඳහන් කළ යුතුයි. ඉහත කී ෆ්‍රිම්ලි පාක් රෝහල සාපේක්‍ෂ වශයෙන් පහසුකම් අඩු රෝහලක් බවද පැවසෙන අතර කේට්ගේ දරු ප්‍රසූතිවලදී වැය කළ තරම් මුදලක් එහිදී වැය නොවනු ඇති බවත් පැවසෙනවා.

මේ අතර පසුගිය සතියේ ඇතැම් මාධ්‍යවල පළවී තිබුණු පුවතකින් පැවසුණේ මේගන් හදිසියේම රෝහල් ගත කරන්නට සිදුවී තිබූ බවයි. ඒ ඇයට කිසියම් වේදනා ගතියක් දැනෙන්නට පටන් ගැනීම නිසා බවයි සඳහන් වුණේ. කෙසේ වෙතත් මෙහිදී හදිසි දරු ප්‍රසූතියක් සිදුව නැති නමුත් අපේක්‍ෂා කරන දිනට කලින් දරුවා බිහිවීමට ඉඩක් ඇති බව වෛද්‍යවරුන් පවසා ඇති බව වාර්තා වෙනවා.

– සනත් වික්‍රමගේ –

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *