අගමැති මෝදි වෙසක් සැමරීමට නේපාලයට ගියේ ඇයි?

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉතිහාසය නිර්මාණය කරමින් බුදුදහම සුරැකීමේ කේන්ද්‍රස්ථානය බවට ඉන්දියාව පත් කිරීමට උත්සහ ගනිමින් සිටිනවා. බුද්ධ පූර්ණිමා උත්සවය හෙවත් බුද්ධ ජයන්තිය සැමරීමට සමගාමීව ඔහු බුදුන් වහන්සේගේ උප්පත්ති භූමිය වන නේපාලයේ සංචාරය කිරීම එය මෑතකාලීනව හොඳින්ම පැහැදිලි වූ අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකියි. අගමැති මෝදි මෙවර බුද්ධ ජයන්ති දිනය සැමරීම සඳහා නේපාලයට ගියේ අග්‍රාමාත්‍ය ෂෙර් බහදුර් ඩෙවුබා ගේ ආරාධනයක් අනුවයි.ඒ අනුව අගමැතිවරයා පසුගිය 15 වනදා ලුම්බිණියේ නිල සංචාරයක නිරත වුණා. ලුම්බිණියට පැමිණි අගමැතිවරයා පිළිගනු ලැබුවේ නේපාල අගමැතිවරයා සහ ඔහුගේ බිරිඳ වන අර්සු ඩියුබා විසිනි.අග්‍රාමාත්‍යවරයා ලෙස මෙය ඔහුගේ පස්වන නේපාල සංචාරය වූ අතර ඔහු ලුම්බිණියට පැමිණ තිබුණේ ප්‍රථම වතාවටයි.


බුදුන් උපන් ලුම්බිණියේ බෞද්ධ සංස්කෘතිය හා උරුමයන් රැක ගැනීම වෙනුවෙන් තාක්‍ෂණිකව දියුණු ඉන්දියානු ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් සඳහා මුල්ගල තැබීමකට ඔවුන් දෙදෙනාම මෙහි දී එක් ව සිටියා. වැඩ අවසන් කිරීමෙන් පසු මෙම ජ්‍යාත්‍යන්තර මධ්‍යස්ථානය ඉන්දියාවේ වර්ධනය වන මෘදු බලය ප්‍රක්ෂේපණය කරමින් බුදුදහමේ අධ්‍යාත්මික අංගවල සාරය භුක්ති විඳීමට ලොව පුරා සිටින වන්දනාකරුවන් සහ සංචාරකයින් සඳහා ලෝක මට්ටමින් පහසුකම් සපයන මධ්‍යස්ථානයක් වනු ඇති බව පැවසෙනවා.
මෙම මධ්‍යස්ථානය නවීන පහසුකම් වලින් යුක්ත ගොඩනැගිල්ලක් වන අතර බලශක්තිය, ජලය සහ අපද්‍රව්‍ය හැසිරවීම සම්බන්ධයෙන් NetZero තාක්ෂණයට අනුකූලව වන්දනා මාන කිරීමේ ශාලා, භාවනා මධ්‍යස්ථාන, පුස්තකාලයක්, ප්‍රදර්ශන ශාලාවක්, ආපනශාලා, කාර්යාල සහ වෙනත් පහසුකම් වලින් සමන්විත වනු ඇති බව නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වුණා.
නවදිල්ලියේ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය (IBC) සහ ලුම්බිණි සංවර්ධන භාරය (LDT) අතර 2022 මාර්තු මාසයේදී අත්සන් කරන ලද ගිවිසුමක් යටතේ වෙන් කරන ලද භූමියක නවදිල්ලියේ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය විසින් මෙම මධ්‍යස්ථානය ඉදි කිරීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.


ඉන්දියාව ලෝක බුද්ධාගමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වුවද, බුදුන් උපන් ලුම්බිණියේ මධ්‍යස්ථානයක් හෝ එයට වෙන්වුණු ව්‍යාපෘතියක් මෙතෙක් පැවතුණේ නැහැ. අගමැති මෝදිගේ මැදිහත්වීම සම්පූර්ණ කරන්නේ එම හිඩැසයි.
තායිලන්තය, කැනඩාව, කාම්බෝජය, මියන්මාරය, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, ප්‍රංශය, ජර්මනිය, ජපානය, වියට්නාමය, ඔස්ට්‍රියාව, චීනය, දකුණු කොරියාව සහ එක්සත් ජනපදය වැනි රටවල් සියල්ලම ලුම්බිණි ආරාම කලාපයේ ව්‍යාපෘති මධ්‍යස්ථාන මගින් නියෝජනය වන අතර 1978 දී අනුමත කරන ලද නේපාල රජයේ ලුම්බිණි ප්‍රධාන සැලැස්ම ආරම්භ වී තිබුණේ ලුම්බිණි ආරාම කලාපය බෞද්ධ ආරාම,විවිධ නිකායන් සහ රටවලින් ව්‍යාපෘති ඇති ස්ථානයක් ලෙසින්.
සංචාරය අතරතුර කුෂිනගර්හි මහාපරිනිර්වාණ ස්තූපය අසල වන්දනාමාන කටයුතුවලට ද එක් වූ අගමැති මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් “අපේ රජය කුෂිනගර්හි යටිතල පහසුකම් නංවාලීමට බොහෝ උත්සාහයන් දරමින් සිටින අතර එමඟින් වැඩි සංචාරකයින් සහ වන්දනාකරුවන්ට මෙහි පැමිණීමට හැකි වනු ඇතැ”යි පවසා තිබුණා.
මෙම සංචාරය දෙරට අතර බහුපාර්ශ්වික හවුල්කාරිත්වයට සහ විශේෂයෙන් අධ්‍යාපනය, සංස්කෘතිය, බලශක්තිය වැනි මිනිසුන් අතර හුවමාරු වන ප්‍රධාන ක්ෂේත්‍රවල දියුණු සහයෝගීතාවයට තවදුරටත් ශක්තියක් ලබා දුන් බව වාර්තා පවසනවා. අග්‍රාමාත්‍ය මෝදිගේ ලුම්බිණි සංචාරය ඉන්දියාව සහ නේපාලය අතර ගැඹුරු මෙන්ම පොහොසත් ශිෂ්ටාචාර සම්බන්ධය සහ එය පෝෂණය කිරීමට දෙපාර්ශ්වයේම පුද්ගලයින්ගේ දායකත්වය අවධාරණය කර තිබෙනවා. දෙරට අතර බෙදාගත් බෞද්ධ උරුමය පිළිබිඹු කරන බුදුදහමේ ශුද්ධ වූ ස්ථාන ලෙස සැලකෙන ලුම්බිණි සහ කුෂිනගර් අතර සහෝදර සබඳතා ඇති කර ගැනීමට ද දෙපාර්ශවය මෙහි දී ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇති බව පැවසෙනවා. අගමැති මෝදිගේ සංචාරය ලුම්බිණියට ලොව පුරා අවධානය දිනා ගැනීමට දායක වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
නේපාල අගමැති ෂෙර් බහදූර් ඩියුබා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ලුම්බිණි සංචාරය ගැන ප්‍රශංසා කරමින් පැවසූයේ නේපලයේ පූජනීය ආගමික ස්ථාන නැරඹීම දෙරටේ ජනතාව අතර සංස්කෘතික සබඳතා ඉහළ නංවා ඇති බවයි.
නේපාල අගමැති ඩියුබා අගමැති මෝදි ඉදිරියේ ලුම්බිණියේ ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ සහ භාවනා ශාලාවේ සභාව අමතමින් කියා සිටියේ“මෝදි අගමැතිවරයාගේ සංචාරය බුදුරජාණන් වහන්සේගේ උපන් ස්ථානය වන ලුම්බිණියට ලොව පුරා දෘශ්‍යමාන වීමට දායක වනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.


ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බුද්ධ ජයන්තිය වෙනුවෙන් පැවැත් වූ එක්දින චාරිකාවේ පළමු නැවතුම වූ ලුම්බිණියේ දී මායාදේවි විහාරස්ථානය හෙවත් සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදුවූ ස්ථානය ද වන්දනා කළ අතර බෞද්ධ චාරිත‍්‍රානුකූලව පැවැත්වූ පූජාවට එක්වුණා.
නේපාලය සහ ඉන්දියාව අතර ඓතිහාසික සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යාමේ මාර්ග පිළිබඳව ඵලදායි සාකච්ඡා පැවැත්වූ බව ඩියුබා පෙර දින අගමැති මෝදි සමඟ කළ සාකච්ඡා ගැන අදහස් දක්වමින් පසුව පවසා තිබුණා.
“ජනක්පූර්, මුක්තිනාත් සහ පශුපතිනාත් ඇතුළු පූජනීය වන්දනා ස්ථාන වෙත අගමැති මෝදි විසින් සිදුකල පසුගිය සංචාරයන් දෙරටේම ජනතාව අතර සංස්කෘතික සබඳතා ඉහළ නංවා ඇති බව ද,” නේපාල අගමැතිවරයා සදහන් කළා.
ගෝලීය ගැටුම් උත්සන්න වී ඇති අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ඉතා වැදගත් බවත් ලෝකයේ විවිධ ප්‍රදේශවල මනුෂ්‍ය වර්ගයා ප්‍රචණ්ඩත්වය, සතුරුකම සහ යුද්ධවලට මුහුණ දෙන අතර ගැටුම් විශ්වීය සාමය වඩාත් දුෂ්කර හා අභියෝගාත්මක කර ඇති බවත් මෙම සන්දර්භය තුළ, බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වෙන කවරදාටත් වඩා අදාළ වේයැයි අගමැති ”ඩියුබා සදහන් කළා.
එසේම නේපාලයේ සහ ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ගෞරවය හා භක්තිය ද ඔහු අවධාරණය කරමින් පෙන්වා දුන්නා.
ගෞතම බුදුන් වහන්සේ නේපාලය සහ ඉන්දියාව අතර බැඳීම් ගොඩනඟා ඇත්තේ එතුමන්ගේ ගැඹුරු සිතුවිලි සහ දීප්තිමත් වචන හරහා බවයි නේපාල අගමැතිවරයා පෙන්වා දුන්නේ.
“උන්වහන්සේ දෙරටේම එකසේ ගෞරවාදරයට පාත්‍ර වූ‍වෙකි. එතුමන්ගේ අගනා ඉගැන්වීම් සහ පණිවිඩය දෙරටේම මිනිසුන්ගේ ජීවිතවලට මෙන්ම දර්ශනවලට ද බලපා ඇතැයි,” ඩියුබා සදහන් කළා.
ඩියුබාගේ දේශනයෙන් පසුව අගමැති මෝදි විසින් දෙරට අතර ශක්තිමත් ඓතිහාසික හා සංස්කෘතික සබඳතා සිහිකරමින් සභාව ඇමතුවා.
“අපි අපේ සබඳතාව නේපාලයේ කඳු මුදුන් මෙන් ඉහළ ට ගෙන යා යුතුයි.උත්සව, චාරිත්‍ර වාරිත්‍ර සහ පවුල් සබඳතා වැනි වසර දහස් ගණනක් තිස්සේ අප සතු වූ සබඳතා, විද්‍යාව, යටිතල පහසුකම් සහ තාක්‍ෂණය සමඟ ද සම්බන්ධ කළ යුතුයි, යනුවෙන් අගමැති මෝදි මෙහිදී කියා සිටියේ අනාගතයේ ඉන්දු -නේපාල සබදතාවල ස්වරෑපය පිළිබද ඉගියක් ද ලෝකය හමුවේ තබමින්. චීනයටත් ඉන්දියාවටත් මැදිවූ සම්පූර්ණ ගොඩබිම් රාජ්‍යයක් වන නේපාලයේ ආසියානු භූදේශපාලනය තුළ කැපී පෙනන වැදගත්කමක් හිමිකර ගන්නා අතර අගමැති මෝදිගේ මෙම සංචාරය හරහා එම වැදගත්කම යළි තහවුරැ කළ බව සදහන් කළ යුතුමයි.

You May also like

Leave a Reply

Your email address will not be published.