පුජිත් නිදහස් වෙයිද නැද්ද?

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස් කරන්නේ ද නැද්ද යන නියෝගය ලබාදීමට අධිකරණය විසින් දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එම තීන්දුව පෙබරවාරි මස 18 වැනි දින ලබාදෙන බවයි කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය දැනුම්දී ඇත්තේ.

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදින මෙරට කිතුණු දේවස්ථාන සහ සුපිරි හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරීම් ඇතුළු ව තවත් චෝදනා රැසක් ගොනු කරමිනුයි මෙම නඩුව විභාග වන්නේ.

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව කරන පරීක්ෂණවලට අදාළව පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය අනිවාර්ය නිවාඩු යවා සිටි අතර, ඔවුන් 2019 වසරේ මැයි 6 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝගය කළේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජිත් ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දු යන අයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය 2019 ජුනි 9 වැනිදා ඇප ලබා දුන් අතර, කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි එම ඇප නියෝගය පසුගිය 9 වන දා නිෂ්ප්‍රභා කළා.

මහාධිකරණයේ නිගමනය වූයේ, මහේස්ත්‍රාත්වරිය ලබා දී ඇති ඇප නියෝගය ඉතා බරපතළ නෛතික දෝෂ සහිත හා නීතියට පටහැනි බව ය.

සැකකරුවන් දෙදෙනා එකී නියෝගය නිකුත් කිරීමට පෙර සිටි තත්ත්වයට පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියට මහාධිකරණය එදින (2019 ජුනි 09 වැනි දින) නියෝග කළා.

මෙවන් පසුබිමක පැවති නඩුව තෙවසරකට ආසන්න කාලයක් උපරිමාධිකරණ සංකීර්ණ තුළ විභාග වූ අතර, එලෙස විභාග වූ නඩු තීන්දුවට අනුවයි එළඹෙන පෙබරවාරි මස 18 වැනි දින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස් කරනවා ද නැද්ද යන කාරණය පිළිබඳ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලබන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published.