“විල්පත්තුව විනාශ කළ බව ඔප්පු වූවොත් ඕනෑම දඬුවමක්‌ දෙන්න ” – රිෂාඩ්ගෙන් දීර්ඝ ප්‍රකාශයක්

ජාතික සම්පතක්‌ වන විල්පත්තු රක්‍ෂිතය සුද්දකර දුන්නේ බැසිල් රාජපක්‍ෂ මහතා ඇමතිවරයකුව සිටියදී පත් කළ කමිටුවක නිර්දේශය මත ප්‍රාදේශීය ලේකම්වරයා විසින් බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

තවත් කවුරුන් හෝ විල්පත්තු රක්‍ෂිතය එළි පෙහෙළි කර හෝටල් කීපයක්‌ ඉදිකර ඇති බවත් තමන් විල්පත්තුව විනාශ කළ බව ඔප්පු වූවොත් ඕනෑම දඬුවමක්‌ ලබා දෙන ලෙසත් බදියුදීන් මහතා කියා සිටියා.

විල්පත්තු රක්‍ෂිතයේ අක්‌කර ගණනාවක්‌ නීති විරෝධී ලෙස එළිකර රිෂාඩ් බදියුදීන් මහතා විසින් සිය ආධාරකරුවන් පදිංචි කරවා ඇති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් සහ පුල්මුඩේ ඛනිජ වැලි නිධිය පිළිබඳ අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රශ්න කිරීමෙන් පසු පිළිතුරු දුන් බදියුදීන් මහතා මෙසේ කීය.

” මා පුල්මුඩේ ඛනිජ වැලි නිධිය භාර ගනිද්දී එහි ස්‌ථාවර තැන්පතුව තිබුණේ මිලියන තුන්සියයි. නමුත් මා පැමිණ ස්‌ථාවර තැන්පතුව රුපියල් මිලියන තුන්දහස දක්‌වා වැඩි කළා.

පුල්මුඩේ ඛනිජ වැලි නිධිය විදෙස්‌ සමාගමකට හෝ පුද්ගලික අංශයට විකිණීමට යන බවට කියවෙන ප්‍රකාශයෙහි කිසිදු සත්‍යතාවක්‌ නැහැ. මෙම ඛනිජ වැලි නිධිය කිසිවකුට විකුණන්නේ නැහැ කියලා මම මෙතන සහතික වී කියනවා. අනිත් එක ඒ වෙනුවෙන් කිසිම කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කරලත් නැහැ. ඉදිරිපත් කරන්නෙත් නැහැ.

අපි කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කළා අගය එකතු කිරීම වෙනුවෙන්. ලෝකයේ බොහෝ රටවල් මෙවැනි නිෂ්පාදන වෙනුවෙන් අගය එකතු කිරීම සිදුකරනවා. එහිදී අගය එකතු කිරීම වෙනුවෙන් දෙස්‌ විදෙස්‌ කවර හෝ අයකුට ඉදිරිපත් විය හැකියි. කව්රු හරි කැමැති අයෙක්‌ ඉන්නවා නම් මේ වෙනුවෙන් ඉදිරිපත් විය හැකියි. මාස තුනක කාලයක්‌ ගත්තම මේ වෙනුවෙන් ලෝකයේ සමාගම් ගණනාවක්‌ ඉදිරිපත් වුණා. එහිදි අවසානයට සමාගම් දෙකයි ඉතිරි වුණේ. අපි දැනට එම සමාගම් වලට කියල තිබෙන්නේ ටයිටේනියම් ඔක්‌සයිඩ් සෑදීම සඳහා අවශ්‍ය ඉඩම් පහසුකම දෙනවා කියලා විතරයි.”

ආයතනයට අයිති වැලි එළියේ තිබෙනවා. මේවා පොලිසිය සමඟ එකතු වී ප්‍රාදේශීය දේශපාලකයොත් ගෙනියනවා. ඒ නිසා වැටක්‌ ගහන්න හදද්දී මේ අය එරෙහි වුණා. අපි ගමේ ඉඩම් ගන්නේ නැහැ. ආයතනය බාර ගත්තට පස්‌සේ මේ ආයතනය මම පිරිසිදුව ගෙන යනවා. දේශපාලකයෝ පත් කර නෑ. වැදගත් නිලධාරීන් පත් කර තිබෙන්නේ. අගය එකතු කිරීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළහොත් රටට විශාල ආදායමක්‌ එනවා. ”

මහින්ද රාජපක්‌ෂ මහතාගේ කාලයේදී මම නැවත පදිංචි කිරීමේ ඇමතිවරයා. ඒ වකවානුවේදී ලක්‌ෂ තුනක්‌ පමණ අවතැන්වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා බැසිල් රාජපක්‌ෂ මහතාගේ නායකත්වයෙන් කමිටුවක්‌ පත් කළා. ඒ කාලේ අවසන් වුණාට පසුව මම කර්මාන්ත ඇමතිවරයා ලෙස පත්වූවා. එමෙන්ම ජනාධිපති කාර්ය සාධක බළකායක්‌ද ඇතිකරනු ලැබුවා.

ඒ අනුව එම කමිටුව අනුව නැවත පදිංචි කිරීම් සිදු කළා. ජනාධිපති කාර්ය සාධක බළකායේ මෙහෙයවීමෙන් පැවැති නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ සිදු කළා. මමත් අනූව දශකයේ අවතැන්වූවකු බවට පත්වූවා. නැවත පදිංචි කිරීමේ වැඩසටහනේදී කිසිම වරදක්‌ සිදුවූයේ නැහැ.

මේ ප්‍රදේශයේ මුස්‌ලිම් ගම්මාන 22 ක්‌ තිබුණා. කජුවත්ත කියා සිංහල ගම්මානයකුත් තිබුණා. මුල්ලිකුලම කියන කතෝලික ගම්මානය, කොන්ඩච්චි කියන මුස්‌ලිම් ගම්මානය මේ සියල්ලම තිබුණේ මන්නාරම බෝඩරේ. මන්නාරම බෝඩරේ එහා පැත්තෙන් තමයි විල්පත්තුව තිබෙන්නේ. අනුරාධපුර පුත්තලම දිස්‌ත්‍රික්‌ක දෙක අතර තමයි විල්පත්තුව තිබෙන්නේ. එයට මන්නාරම ඇතුළත් නැහැ. විල්පත්තුවේ කිසිම වනජීවි ඉඩමක්‌ මන්නාරම දිස්‌ත්‍රික්‌කයට ඇතුළත් නැහැ. මන්නාරම මරීච්චිකට්‌ටු ගමේ සිට මේ ජනතාව යනකොට හමුදාව තමන් ගේ ආරක්‌ෂක හේතුන් මත හලාවත දක්‌වා මීටර් සියයක්‌ වනයේ දෙපැත්ත ශුද්ධ කර තිබුණා.

ජනතාව තමන්ට ලැබුණු ඉඩම්වල ගස්‌ වැල් වැවිලා තිබූ නිසා ඒවා ශුද්ධ කළා. 2012 දී මේවා සිදුකර අවසන් වුණා. මගේ සහෝදර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා තමයි ඒ කාලේ ඇමැතිවරයා. වන සංරක්‌ෂණයට මේ ඉඩම්වල කිසිම අයිතියක්‌ නැහැ. ඒවා ඔක්‌කොම ආණ්‌ඩුවේ ඉඩම්.

2012 දී අනුර යාපා පත්වීමට පෙර සිටි ඇමැතිවරයා තමයි මේවා පිළිබඳ සියල්ලම ගැසට්‌ කිරීමට සූදානම් කර තිබුණේ. 2012 දී තමයි ඒ ඉඩම් වන සංරක්‌ෂණයට ගැසට්‌ කළේ. 2012 සිට මේ දක්‌වා මේ ඉඩම්වල අයිතියක්‌ වන සංරක්‌ෂණයට තිබුණේ නැහැ. ගස්‌ වැවී තිබූ නිසා ඇමැතිවරයා ජී. පී. ආර්. එස්‌. බලල තමයි වන සංරක්‌ෂණයට මේ ඉඩම් ගැසට්‌ කළේ.

මේ ඉඩම් වන සංරක්‌ෂණයට ගැසට්‌ කරන විට ජනතාවට ඒ ඉඩම් ගැන අයිතිය කියන්න සාධාරණ කාලයක්‌ දුන්නේ නැහැ. යුද්ධය ඉවර වුණාට පසුව මේ ඉඩම් ජනතාව අයිති කරගනියි කියලයි වන සංරක්‌ෂණයට ගැසට්‌ කළේ. ඒකෙන් මේ මිනිසුන්ට විශාල අසාධාරණයක්‌ සිදුවුණා. ඊට පසුව ජනාධිපති කාර්ය සාධක බළකායක්‌ පිහිටුවා ජනතාවට මේ ඉඩම් ලබාදුන්නේ. එහෙම නැතිව මේ ඉඩම් මම සුද්ද කළේ නැහැ. ජනතාව කළෙත් නැහැ. ප්‍රාදේශීය ලේකම්වරයා තමයි සුද්ද කරලා දුන්නේ.

2012 දී මේ අයට ඉඩම් දුන්නට පසුව වෙන කවුරුත් බිම් අඟලක්‌වත් දීලා නැහැ. ඊයේ පෙරේදා සිට මේ කරන මඩ ප්‍රචාරය සිදුකරන්නේ මට පහර දීමටයි. මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්‌. මේ මඩ ව්‍යාපාරය ගෙනයන්නේ විපක්‌ෂය නෙවෙයි. සමාජ මාධ්‍ය ජාල විසින්. මේ පිටුපස සිටින අය ජනතාව දන්නවා ඇති.

විල්පත්තුව වනජීවිය කියන්නේ ලංකාවේ තිබෙන වටිනා සම්පතක්‌. මේක විනාශ කරනවා නම් මට දඬුවම් දෙන්න. ඕනම දඬුවමක්‌ දෙන්න. මම ඕනෑම දඬුවමක්‌ විඳින්න සූදානම්. මගේ ජනතාව, ඒ සමාජය කිසිදු වරදක්‌ කළ අය නෙවෙයි. ඒ අය එදා එල්. ටී. ටී. ඊ. ප්‍රශ්න නිසා අතහැර ගිය ගම්වලටයි නැවත පැමිණ සිටින්නේ. මගේ ජනතාව පදිංචි වී සිටින්නේ මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ.

මෙවැනි මඩ ප්‍රචාර ගෙනයන්නේ කවුරු සතුටු කරන්න ද යන ගැටලුව තිබෙනවා. 2012 වසරේ සිට එකම බිම් අඟලක්‌වත් ඒ ජනතාවට ලබාදී නැහැ. මම ඊයේ පෙරේදා බැලුවා ටීවීවල ලොකු ප්‍රචාරයක්‌ ලබාදෙනවා. ඒ වගේම ස්‌වාමීන් වහන්සේ බොරුවට එක එක දේවල් හෙළි කරනවා.

මම කථානායකතුමාට මල්වතු මහා විහාරයෙන් ගෞරව සම්මාන පිරීනමන වෙලාවේ දළඳා මාළිගාවට ගියා. ඒ වෙලාවෙත් මල්වතු ස්‌වාමින් වහන්සේ මේ ගැන විමසුවා. ඒ වගේම මේ ගැන සොයා බලන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ පත්කරන්න කියා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා. විල්පත්තුව කවුරු හරි විනාශ කළා ද දේශපාලකයෝ විනාශ කළා ද සොයා එයට සම්බන්ධ අය ඉන්නව නම් ඒ අයට දඬුවම් දෙන්න. එහෙම අය මගේ සමාජය තුළ නැහැ. ඒ වගේම එක්‌තරා ආයතනයක්‌ කජුවත්ත ප්‍රදේශය සුද්ද කරනවා. එය විල්පත්තුවට අයිති ද කියලා මම දන්නේ නැහැ. මමත් පක්‌ෂයක නායකයෙක්‌. යුද්ධ කාලේ මමත් පීඩාවට පත්වුණා. මම තාත්තා ජනාධිපති වූ නිසා පාර්ලිමේන්තුවට පැමිණි අයෙක්‌ නෙවෙයි. මටත් පවුලක්‌ ඉන්නවා. දරුවෝ ඉන්නවා. ඒ අය පාසල් යනවා. විල්පත්තුව විනාශ කරනවා කියලා සමාජ මාධ්‍යවල ගියාම ඒ අයත් අපහසුවට පත්වෙනවා. ඒ නිසා මේ ගැන සොයන්න.”

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *