පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පොහොට්ටුව අතහැර යන්න සූදානමක්

පොහොට්ටුව පක්ෂය අලුත් මැරයන් පිරිසක් විසින් ඩැහැගෙන ඇති බවත් එම මැරයන් පිළිබඳව පක්ෂ නායකයින් තීරණයක් නොගතහොත් තමන් පොහොට්ටුව හැරයන බවත් අම්පාර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව පවසා තිබෙන්නේ පොහොට්ට්ටුව පක්ෂයට බලය හිමි දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පොහොට්ටුවේ පොතුවිල් ආසන සංවිධායකවරයාගේ ලේකම් ඇතුළු පිරිසක් විසින් පහරදීමට එරෙහිව පැවති විරෝධතාවයක් අවසානයේ මාධ්‍ය අමතමිණි.

මේ සම්බන්ධයෙන් පක්ෂය ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් තමන් එම පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක තනතුරෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා එහිදී අවධාරණය කර තිබෙනවා.

අද (14) උදාන 8.00 වනවිට සභාපති තනතුරෙන් ද ඉවත් කරන බවට තර්ජනය කරමින් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට ඊයේ (13) අළුයම 1.00ට පමණ කඩාවැදුණු පොහොට්ටුවේම මැර පිරිසක් පහරදී තිබෙනවා .

මීට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

“එහෙම කොහොමද සභාපතිකම් ගලවන්නේ? පොතුවිල්වලට සංවිධයකයෙක් පත් කරලා තියෙනවා අම්පාර දිස්ත්‍රික් නායකයා වෙන මං දන්නෙ නැතුව. දැන් තමුන්නාන්සෙලා මේ ගැන ප්‍රකාශයක් කරන්න. ප්‍රචණ්ඩත්වෙන් තොරව මේ පොහොට්ටුව අපි ගොඩනැඟුවා, දැන් මැරවරයො නම් ඉන්නෙ ඔවුන් එක්ක මේ ගමන යන්න අපි ලෑස්ති නැහැ.

පක්ෂය ඉදිරි දින කිහිපය තුළ මේ ගැන ප්‍රකාශයක් කරන්නෙ නැත්නම් මං මගෙ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස්වෙනවා. පැරශුට් කාරයින්ට ඉඩ දෙන්න බැහැ” යැයි ඒ මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා .

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *