ඉන්දියාව සහ ඊශ්‍රායලය එක්ව කෘෂිකර්මය නංවයි

ඉන්දු-ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 30ක් පිරීම නිමිත්තෙන් දෙරට අතර ඒකාබද්ධ කෘෂිකාර්මික ව්‍යාපෘතියේ 30 වෙනි කෘෂි විශිෂ්ඨතා මධ්‍යස්ථානය (CoE) හර්යානා හි භිවානි හි ග්‍රිග්නෝ ගම්මානයේ දී විවෘත කරනු ලැබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

වසර 30 ක පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සංකේතවත් කරන 30 වැනි විශිෂ්ඨතා මධ්‍යස්ථානය, ශුෂ්ක පරිසරයක කටුක දේශගුණික තත්ත්වයන් ජය ගනිමින් සම්පත් උපරිම කරගැනීම පිළිබඳ නිදර්ශනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

මෙම නවතම එකතු කිරීමට අමතරව, අනෙකුත් CoEs මධ්‍යස්ථාන 29ක් බිහාර්, උත්තර ප්‍රදේශ්, කර්ණාටක,මහාරාෂ්ට්‍ර, ගුජරාට්, පන්ජාබ්, රාජස්ථාන්, තෙලන්ගානා, මිසෝරාම්, ආන්ද්‍ර ප්‍රදේශ් සහ තමිල්නාඩුව ඇතුළුව ප්‍රාන්ත 12 ක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වේ.

ඉන්දු ඊශ්‍රායල කෘෂිකාර්මික සහයෝගිතාවයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන මෙම මධ්‍යස්ථාන තුළින් සෑම වසරකම එක් කන්නයකට ගුණාත්මක බවින් උසස් තත්ත්වයේ එළවළු බීජ පැළ මිලියන 40කට වැඩි ප්‍රමාණයක් සහ පළතුරු පැළ 500,000 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබයි.

මෙම හොඳම ගොවිපළ මධ්‍යස්ථාන ඔස්සේ වසරකට ගොවීන් ලක්ෂ 1.2කට වඩා පුහුණු කර ඇති බව සඳහන් ය.

ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති Naor Gilon, හර්යානා කෘෂිකර්ම අමාත්‍ය Jai Parkash Dalal සහ මධ්‍ය ප්‍රදේශ් කෘෂිකර්ම අමාත්‍ය Kamal Patel සමඟ එක්ව භිවානි මධ්‍යස්ථානය විවෘත කරනු ලැබීය.

රටපුරා මෙවැනි මධ්‍යස්ථාන තවත් සකස් වෙමින් පවතින බව ඉන්දියාවේ ඊශ්‍රායල තානාපතිවරයා මෙහි දී වැඩිදුරටත් පවසා තිබිණි.

මෙම මධ්‍යස්ථාන තුළින් ගොවීන්ගේ අස්වැන්න සහ ඵලදායිතාවය ඉහළ නංවන අතරම ආරක්‍ෂිත වගාව, බිංදු ජල සම්පාදනය සහ පොහොර යෙදීම වැනි නව කෘෂිකාර්මික තාක්ෂණයන් පිළිබඳ ගොවීන් දැනුම්වත් කරමින් ඔවුන්ගේ ආදායම් ඉහළ දැමීමට කටයුතු කරනු ලබන බව සඳහන් වේ

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *