XL BULLY සුනකයින් තහනම් වෙයි

“අමෙරිකන් XL බුලි” නම් සුනඛ වර්ගය තහනම් කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබේ.

බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් පවසා ඇත්තේ, එම සුනඛයන් ඉතා ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන බවත් එම සුනඛයින් හේතුවෙන් ජනතාව පීඩාවට පත්වී සිටින බවත්ය.

ප්‍රධාන වශයෙන්ම මෙම සුනකයින් සපා කෑමෙන් ජීවිත හානි සිදුව තිබෙන බවත් ඒ අතර කුඩා දරුවන් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එබැවින් මෙම වසර අවසානයේ සිට එක්සත් රාජධානියේ මෙම සුනඛ වර්ගය ඇතිකිරීම තහනම් කිරීමට නව නීති ගෙන එන බවද අගමැති රිෂි සුනක් පවසා තිබේ.

එක්සත් රාජධානියේ අන්තරායකර සුනඛ පනත යටතේ මෙම සුනඛ වර්ගය තහනම් කිරීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර ඇතැම් පිරිස් එම තීරණයට විරෝධය දක්වා ඇති බවද සඳහන් වේ.

කෙසේ වෙතත් එරට ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරිනිය පවසා ඇත්තේ, මේ වන විට මෙම සුනඛයින් ඇති කරන පිරිසට එම සුනඛයින් මියයන තුරු දැඩි නීති රෙගුලාසි හමුවේ රැක බලාගත හැකි බවය.

එමෙන්ම එම වර්ගයේ සියලුම සුනඛයින් වදභාවයට පත්කළ යුතු බවත් ඔවුන් නිවසින් පිටතට රැගෙන යන සෑම විටකදීම මුඛවාඩම් පැලඳවීම අනිවාර්යය බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *