පිළියන්දල පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකු භාරයේ තිබූ තාවකාලික රියැදුරු බලපත්‍ර පොතක් පැහැරගෙන ත්‍රිරෝද රථයකින් පලායෑමට උත්සාහ කළ තරුණියක් ඊයේ (06) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ මහරගම පාරට යොමුවන විදුලි සංඥා පද්ධතිය අසල රථ වාහන රාජකාරියේ පොලිස් කොස්තාපල් රණසිංහ (78966) මහතා මාර්ග සංඥා නොතකමින් යතුරුපැදියක් ධාවනයේ යෙදෙන අයුරු දැක එය නවතාගෙන ඇත.
යතුරුපැදිකාරිය සිදුකළ වරද පහදා දී ඇයගේ රියැදුරු බලපත්‍රය ඉල්ලා සිටියදී එම තරුණිය කොස්තාපල්වරයා සන්තකයේ තිබූ තාවකාලික රියැදුරු බලපත්‍ර පොත පැහැරගෙන මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථයක් නවතාගෙන එම ස්ථානයෙන් පලා යෑමට උත්සාහ කිරීමේදී ත්‍රිරෝද රථ රියැදුරු ඇමැතූ කොස්තාපල් රණසිංහ (78966) මහතා ඇයව රැගෙන නොයන ලෙස පැවැසීමත් සමඟ පැහැරගත් තාවකාලික රියැදුරු බලපත්‍ර පොත කොස්තාපල්වරයාට ලබා දී ත්‍රිරෝද රථයේ නැඟී පලා යෑමට නැවතත් උත්සාහ කර ඇති බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම අවස්ථාවේදී නැවතත් ත්‍රිරෝද රථ රියැදුරු ඇමැතූ පොලිස් නිලධාරියා ඇයව රැගෙන නොයන ලෙස පවසා අධි පැය රාජකාරියෙහි නිරතව සිටි පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාරනාත් සමරකෝන් මහතාට මෙම සිද්ධිය වහා දුරකථනයෙන් දැනුම් දීමට පියවර ගෙන තිබිණි.
ඒ සමඟම වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා කාන්තා උප පොලිස් පරීක්‍ෂක ශිරෝමි මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට යවා සැකකාර තරුණිය පොලිසියට රැගෙන ඒමට කටයුතු කළ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් තරුණිය 26 හැවිරිදි වියේ පසුවන මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර කොහුවල ප්‍රදේශයේ පෞද්ගලික ආයතන නිෂ්පාදන සැලසුම් විධායක තනතුරක නියැළෙන්නියක් බව ද පොලිසිය සඳහන් කරයි.
සැකකාරිය කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගල්කිස්ස කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් විජේසිංහ – සහකාර පොලිස් අධිකාරි චන්දන කන්දේවත්ත මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාරනාත් සමරකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක බණ්ඩාර – පොලිස් කොස්තාපල් රණසිංහ (787966) ඉෂාර (90334) ඉෂාර (90334), අතපත්තු (40619) හා කාන්තා උප පොලිස් පරීක්‍ෂිකා ශිරෝමි මහත්මිය පරීක්‍ෂණ පවත්වයි.