පාර්ලිමේන්තු අධි ආරක්ෂක කලාපයේ සිට ඔත්තු බැලූ තරුණයෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයට ආසන්න අධිආරක්ෂක කලාපයට අයත් ජල තීරයට අනවසරයෙන් ඇතුළුවී ඔත්තු බලමින් සිටි බවට සැක කෙරෙන තරුණයෙක් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ ( පාර්ලිමේන්තු )නිලධාරියා විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පාර්ලිමේන්තු පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.පී.ඊ ප්‍රනාන්දු මහතා ලබා දුන් තොරතුරක් අනුව බුද්ධි අංශ නිලධාරියා සැකකරු දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගෙන තිබූ බව තලංගම පොලිසිය පවසයි.

සැකකාර තරුණයා මොරටුවේ පදිංචිකරුවෙකි.

මොරටුවේ සිට පා පැදියකින් පැමිණ ඇති සැකකරු මෙම ජල තීරයට වැටකින්ද පැන ඇතුළු වූයේ ඇයි දැයි ප්‍රශ්නයක් වන අතර ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යන බව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

අධි ආරක්ෂක කලාපයට ඇතුළුවීමට හේතුව පැහැදිලිවම පැවසීමට සැකකරු අපොහොසත්ව සිටින බවද එම නිලධාරියා සඳහන් කළේය.

සැකකරු අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරියා ප්‍රදේශයේ ආවේක්ෂණ රාජකාරියක නිරතව සිට ඇති බවත් පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපතිවරයා මේ පිළිබඳව දැනුම් දීමෙන් පසු ඔහු වහා ක්‍රියාත්මකවී සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ බවත් පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් ලබාදී තිබු තොරතුරක් අනුව නාවික හමුදාවේ නිලධාරීහු කණ්ඩායමක්ද ඒ ස්ථානයට ඊයේ උදේ පැමිණ සිටියහ.

එසේම සැකකරුගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කිරීම සඳහා ඒ අවට ප්‍රදේශවල සීසීටීවී කැමරාද පරික්ෂා කරගෙන යන බව පොලිස් ආරංචිමාර්ග වලින් පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර පුෂ්පකුමාර, පාලිමේන්තු පොලිස් කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංජුල සෙනරත් පාර්ලිමේන්තු පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.පී.ඊ ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ තලංගම පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

You May also like

Leave a Reply

Your email address will not be published.