කෙහෙළියට හිටිගමන් ආ හුස්ම හිරවීමේ, බඩවැල් ව්‍යාකූලවීමේ හා වකුගඩු ආබාධ අධිකරණයේදී කී හැටි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයකින් පෙළෙන බව අධිකරණයේදී ඔහුගේ නීතීඥයා කරුණු ඉදිරිපත් කළේය.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා එහිදී සඳහන් කළේ එම සුවිශේෂී රෝගී තත්ත්වයෙන් පෙළෙන තම සේවාදායකයාට එවැනි අවස්ථාවකදී කෘතිම ව ඔක්සිජන් ලබාදිය යුතු බවය.

ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇප ඉල්ලීම් ඉදිරිපත් කළේය.

“මගේ සේවාදායකයා මේ වෙද්දී රෝග ගණනාවකින් පෙළෙනවා. විශේෂයෙන්ම ස්වාමීනි… ඔහුව බන්ධනාගාරගත කළාට පස්සේ.. ඔහුගේ රුධිර පීඩනය විචලනය වෙලා. උදරයේ බඩවැල්වල ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙනවා. ඔහුට වකුගඩුවල රෝගී තත්ත්වයකුත් තිබෙනවා. ඒ වගේම ඔහු දියවැඩියා රෝගයෙන් පීඩා විඳින්නෙක්.”

“ස්වාමීනි, ඔහුට තිබෙන රෝග අතර ඔහුට තිබෙන සුවිශේෂීම රෝගී තත්ත්වය තමයි රෑට නින්දෙන් හුස්ම හිරවීම. එය රෝගී තත්ත්වයක්. ඔහුට නොදැනුවත්වම ඔහු ලබා ගන්නා ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. අන්න ඒ වෙලාවට ඔහුට කෘතිමව ඔක්සිජන් සපයන්න ඕනේ.”

“ස්වාමීනි, මේ වෙලාවේ බන්ධනාගාරයේ ඔය කියන රෝගී තත්ත්වයට ලබාදෙන්න ඕන ප්‍රතිකාර නැහැ.”

එසේ කී ජනාධිපති නීතීඥවරයා අදාළ රෝගී තත්ත්වය ඇතිවූ අවස්ථාවක පුද්ගලයෙකු නිදාගත යුතු ආකාරය දැක්වෙන රූප සටහනක් මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කළ අතර ඇය ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසිනි.

“කිසියම් සැකකරුවකුට රෝගී තත්ත්වයන් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට පිළිගත හැකි සත්‍ය වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතුයි. නැතුව ෆොටෝකොපි ඉදිරිපත් කරලා ඒවා පිළිගන්න බැහැ. ඒවගේම අන්තර්ජාලයෙන් ලබාගත් රූප සටහන් අධිකරණයට ඉදිරිපත් කළාට ඒවා පිළිගත හැකි සාක්ෂි නොවෙයි. අධිකරණය ඉදිරියේ චිත්‍රපටි පෙන්වන්න අවස්ථාව දෙන්න බැහැ”

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ නඩුව මෙලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබුණි.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 6 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කෙරුණද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් නොකෙරුණි.

බන්ධනාගාර නිලධාරීන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම්දුන්නේ රෝගී තත්ත්වයක් මත සැකකාර හිටපු අමාත්‍යවරයාව අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි අතර පෙබරවාරි 22 වැනිදා වනවිට ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *