පිළිකා නාශක ඖෂධයක් ද ප්‍රමිතියෙන් තොරයි – කෙහෙලියගේ නඩුවේදී හෙළිදරව්වක්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාවට අදාළ ප්‍රශ්නගත ඖෂධ සැපයුම්කරු විසින් සපයා ඇති පිළිකා නාශක ඖෂධයක් ද ප්‍රමිතියෙන් තොර බවට වාර්තාවකින් තහවුරු වූ බව  අධිකරණයේදී අනාවරණය විය.

මේ අතර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය  නියෝග කළේය.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

විදෙස්ගතව සිට ඊයේ දිවයිනට පැමිණි වෛද්‍යවරයා ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබූ අතර, මොහු ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගයීම් කමිටු සාමාජිකයෙක් ලෙස ද කටයුතු කළ අයෙකි.

සැකකරු අද දහවල් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ ප්‍රමිතියෙන් තොර  හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් සම්බන්ධ නඩුව ද යළි කැඳවු අවස්ථාවේදීය.

ඒ අනුව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

අනතුරුව වැඩිදුර විමර්ශන සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

”ස්වාමීනි, අද දින ඔබතුමන්ගේ අධිකරණයට ඉදිරිපත් කර ඇති තුසිත සුදර්ශන නැමැති මෙම සැකකරු මෙම නඩුවේ 11 වන සැකකරු ලෙස නම් කරන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් නම් ප්‍රශ්නගත ඖෂධයට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදි ඇගයීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු මෙම තැනැත්තා වන අතර අනෙක් වෛද්‍යවරයා මේ වන විටත් අධිකරණය මගහැර විදෙස්ගතව සිටිනවා. ස්වාමීනි ප්‍රසම්පාදනයට අදාළ ඇගයිම් කමිටුව තුළ කටයුතු කිරීමේදී මොවුන්ගේ වගකීම වෙන්නේ ප්‍රසම්පාදනයට ලක්වන ඖෂධයේ ගුණාත්මකභාවය හා සැපයුම්කරු පිළිබඳ සත්‍ය තොරතුරු නිර්දේශ කිරීමයි. නමුත් ස්වාමීනි මොවුන් දේශීයව නිෂ්පාදනය කළ නොහැකි ඖෂධයක් සැපයීම, දේශිය සැපයුම්කරුවෙකුට ලබාදිමයි මෙම මහා අපරාධයට හේතු සාධක වුණේ. ඊට හේතුව විමසුවාම මොවුන් කියනවා අපි හිතුවේ ඉන්දියාවෙන් ගෙනල්ලා සැපයීම සිදු කරයි කියලා. නමුත් ස්වාමීනි ඔවුන්ගේ හිතලුමත බෙහෙත් තෝරන්න නොවෙයි රටේ ජනතාව බදු ගෙවන්නේ. විත්තිකුඩුවේ සිටින මෙම සැකකරුවන් එන්නත් මාත්‍රාවේ ප්‍රමිතිය පරික්ෂාවට ලක්කිරීම එක් එක් අයට පවරනවා. මම අහන්න කැමතියි මේ විත්තිකූඩුවේ සිටින කිසිවෙකුත් එන්නත් මාත්‍රාවේ ප්‍රමිතිය පරික්ෂා කිරීමේ වගකීම භාරගන්නේ නැත්නම් එන්නත ලබාගන්න රෝගීන්ද එහි පරික්ෂාවට ලක්කරන්න ඕන කියලා. “

එමෙන්ම ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සැපයුම්කරු විසින් වෛද්‍ය සැපයුම් අංශයට සපයන ලදැයි මීට පෙර කරුණු අනාවරණ වි තිබු පිළිකා නාශක ඖෂධය සම්බන්ධයෙන් ප්‍රමිති වාර්තාවක් ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට ඉදිරිපත් කළේය.

” ස්වාමීනී, මෙම ප්‍රශ්නගත ඖෂධ සැපයුම්කරු විසින්ම සැපයු තවත් ඖෂධයක් තමයි රිටොක්සිමැප් කියන්නේ. එම ඖෂධ මාත්‍රා 2,250ක් සැපයීමට ප්‍රශ්නගත සැපයුම්කරුට ටෙන්ඩරය ප්‍රධානය කර තිබෙන්නේ  හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මාත්‍රාව වගේම ප්‍රමාණවත් තොග සෞඛ්‍ය අංශය තුළ තිබියදියි. ඒ අනුව මෙම සැපයුම්කරු අවස්ථා 4කදි රිටොක්සිමැප් එන්නත් මාත්‍රා 2200 ක් වෛද්‍ය සැපයුම් අංශයට සපයා තිබෙනවා. ස්වාමීනි, එම ඖෂධයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් මහරගම අපෙක්ෂා රෝහලේ පිළිකා ආයතනයෙන් අප ප්‍රමිති වාර්තාවක් කැඳෙව්වා. එම වාර්තාව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ස්වාමීනි රිටොක්සිමැප් ඖෂධය පිළිකා රෝගයෙන් සුව වීමට අදාළ වෙන්නේ එහි මොනකෝනල් නමැති පිළිකා නාශක ප්‍රතිදේහයට අන්තර්ගත වුණොත් විතරයි. නමුත් ස්වාමීනි මෙම සැපයුම්කරු සපයා ඇති රිටොක්සිමැප් කියන්නා වු මාත්‍රාවල එම ප්‍රතිදේහය කිසිඳු ලෙසකින් අන්තර්ගත වෙලා නැහැ. එය හුදෙක් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සැපයුවා වගේම නිකන්ම නිකන් ද්‍රාවණ සැපයීමක් විතරයි. එවැනි ද්‍රාවණයකට තමයි රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් රුපියල් ලක්ෂ 1000ක් ගෙවලා තියෙන්නේ. ස්වාමීනි, එම ඖෂධය ප්‍රශ්නගත වෙලා අධිකරණ නියෝගයකින් එම එන්නත් මාත්‍රා තොග යළි කැඳවන විටත් බෙදාහරින ලද එන්නත් මාත්‍රා 2200 න් 1200ක්ම භාවිත වෙලා තිබුණා. ඉතිරිවෙලා තිබුණේ එන්නත් මාත්‍රා 1000 ක් විතරයි. “

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *