ශ්‍රී ලංකාව පකිස්ථානය සමග අද ලෝක කුසලාන ක්‍රිකට් පිටියට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අද (10) පැවැත්වේ.

ඒ, පකිස්ථානය සමගයි.

මෙම තරගය ඉන්දියාවේ රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වූ පළමු තරගය ජය ගත් පකිස්ථාන කණ්ඩායම ලකුණු සටහනේ 3වැනි ස්ථානයේ රැඳී සිටි.

ශ්‍රී ලංකා කණ්ඩායමට දැනට රැඳී සිටින්නේ 9වැනි ස්ථානයේයි.

ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ මෙම තරගයේදී කණ්ඩායම සමග එක්වීමට බලාපොරොත්තු වන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ සඳහන්ය.

බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුත් පකිස්ථාන කණ්ඩායම තරගාවලියේ සිය දෙවැනි තරගයේ ජය අපේක්ෂාවෙන් මෙම තරගයට පිවිසේ.

ෆකර් සමාන්, ඉමාම් උල් හක්, ඉෆ්තිකාර් අහමඩ් සහ ශාහීන් ශා අෆ්රිඩි වැනි ප්‍රබල ක්‍රීඩකයින්ගෙන් එම කණ්ඩායම සමන්විතය.

ශ්‍රී ලංකා සහ පකිස්ථාන කණ්ඩායම් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ අවස්ථා 156කදී හමුවී ඇති අතර ඉන් තරග 92ක් පකිස්ථානය ජයගෙන ඇත.

තරග 56ක් ජයග්‍රහණය කර තිබෙන්නේ ශ්‍රී ලංකාවයි.

තරග 4ක් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර එක් තරගයක් අවසන් වී තිබෙන්නේ ලකුණු සමවීමෙනි.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.00ට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

මේ අතර තරගාවලියේ එංගලන්ත සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගයත් අද පැවැත්වේ.

ඉන්දියාවේ ධරම්සාලාහිදි පැවැත්වෙන මෙම තරගය අද උදෑසන 10.30ට ආරම්භ වීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *