ලාංකිකයින් නිර්මාණය කළ ‘චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව’ අද උඩුගුවනට ගිය අපූරුව (VIDEO)

ලාංකිකයින් දෙදෙනෙකු විසින් නිර්මාණය කරනු ලැබු ‘රාවණා 1’ චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් අද (18) අලුයම 2.16ට කක්ෂගත කිරීම සිදුවූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම චන්ද්‍රිකාව පසුගිය පෙබරවාරි 18 වන දා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (Japanese Aerospace Exploration Agency – JAXA) වෙත භාර දෙනු ලැබූ අතර එය රැගත් රොකට්ටුව ඇමෙරිකාවේ වර්ජිනියාහිදී අද අලුයම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා යැවීම ආරම්භ කළා.

නාසා ආයතනයේ Cygnus නමැති භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය මගින් අදාළ චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාම සිදු කෙරෙනවා.

රාවණා 1 යනු ඝනක චන්ද්‍රිකාවකි (cube satellite). ඝනක චන්ද්‍රිකාවක් යනු විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් (Classical Satellite) නොවන අතර ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවකි. මෙවැනි චන්ද්‍රිකා නිර්මාණය කිරීමට මෙන් ම කක්ෂගත කිරීමට ද වැය වන මුදල සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතිනවා.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් රාවණා 1 කක්ෂගත කිරීමට නියමිතයි.

එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා පැවතිය හැකි බවට විශ්වාස කෙරෙනවා.

රාවණා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අපේක්ෂා කරන මෙහෙයුම් 5 පහතින් දක්වා තිබෙනවා.

  • ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම.
  • ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුල්’ (මෙය දත්ත ඩවුන්ලෝඩ් කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය) නමැති මෘදුකාංගය අත්හදා බැලීම.
  • චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම.
  • කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම (active attitude stabilization) පිළිබඳ අත්හදා බැලීම.
  • පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම

මෙම සුවිශේෂී චන්ද්‍රිකාව නම් කර ඇත්තේ, ‘රාවණා 1’ යනුවෙනි.

ඊට රාවණා යන නම තබා ඇත්තේ, කටුබැද්ද ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවක් අනුවයි.

“රාවණාගේ ගුවන් තාක්ෂණය පිළිබඳව ලෝකයට කියා පෑමේ අරමුණින් තමයි අපේ චන්ද්‍රිකාවට රාවණා 1 කියලා නම දැම්මේ,” යනුවෙනුයි අභ්‍යවකාශ ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න පවසන්නේ.

ඔවුන් ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ නිර්මාණය කරන ලද මෙම චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන් වනවා.

You May also like

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *