කටුනායකට පැමිණි නවතම අමුත්තා

ලෝකයේ නවතම මගී ගුවන් යානයක් පළමු වතාවට අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා විය.

සිංගප්පූරු ගුවන් සේවයට අයත් බෝයිං 787 – 10 වර්ගයේ මෙම ගුවන් යානය සිංගප්පූරු ගුවන් සේවයට මෙන්ම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පළමු අවස්ථාව මෙය බව සිංගප්පූරු ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිත එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ වසන්ත කුඩාලියනගේ මහතා පැවසීය .

ඇමෙරිකාවේ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම ඩ්‍රීම්ලයිනර් ගුවන් යානා කාණ්ඩය යටතේ අලුතෙන්ම නිෂ්පාදනය කර ඇති මෙම ගුවන් යානය පුළුල් බද සහිත එකවර ගුවන් මගීන් 337 දෙනෙකුට ගමන් කළ හැකි ආකාරයට නිපදවා තිබේ .

රෝල්ස් රොයිස් වර්ගයේ ඇන්ජින් දෙකකින් බල ගැන්වෙන මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 36 ක් සහ පිරිමැසුම්දායක පංතියේ ( Economy ) ආසන 301 කින් සමන්විත වේ .

වසර 53 ක අඛණ්ඩ සේවයක් සපයන සිංගප්පූරු ගුවන් සේවය මෙම නවතම ගුවන් යානය සේවයේ යෙදවීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ආනයනය අපනයන වෙළෙඳාම ශක්තිමත් කිරීමට ද විශාල දායකත්වයක් සැපයීමක් බව ද කුඩාලියනගේ මහතා පැවසීය .

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ තුළ ගොඩ බැස්සවීම සදහා ධාවන පථයේ සහ ගුවන් යානා නැවතුම් අංගනයේ විශේෂ පහසුකම් පුළුල් කිරීමට ද ගුවන් තොටුපළ පියවර ගෙන තිබුණි .

මෙයට පෙර සිංගප්පූරු ගුවන් සේවය විසින් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් සදහා යොදවා තිබුණේ ඒ.- 359 – 900 එයා බස් වර්ගයේ ගුවන් යානයකි .

එහෙත් මෙම ගුවන් යානයට වඩා වැඩි ගුවන් මගීන් පිරිසක් සහ වැඩි ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන ඒමට අවශ්‍යතාවයක් මතු වී ඇති බැවින් මෙම ඩ්‍රීම්ලයිනර් බෝයිං 787 – 10 නවීනතම සහ විශාලතම මගී ගුවන් යානය යොදවා ගැනීමට සිංගප්පූරු ගුවන් සේවය තීරණය කර ඇති බව වසන්ත කුඩාලියනගේ මහතා පැවසීය .

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *