කුඩු අංජුගේ කුඩු සල්ලි රකින ‘මිලියන 490ක බැංකු ගිණුමේ’ හිමිකරු අල්ලා ගනී – බෝකුන්දර බැංකුවකින් තොරතුරු හෙළිවේ

මත්කුඩු ජාවාරම්කරුවෙකු වන සොයිසාපුර වෙඩිතැබීමේ ප්‍රධාන සැකකරු වන කුඩු අංජු නැමැත්තා ගේ රුපියල් මිලියන 490ක බැංකු ගිණුමක් පවත්වාගෙන ගිය පුද්ගලයා කොළඹ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැයි මස 22 වැනිදා එම කොට්ඨාශයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරා ඇතුළු නිලධාරීන් පිරිසක් රත්මලාන – ජයසුමනාරාම මාවත ප්‍රදේශයේදී මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම ගිණුම පිළිබඳව තොරතුරු හෙළිව තිබුණා.

ගිණුම් අංකයක් ලබාදී එම පුද්ගලයා පොලිසියට සඳහන් කර ඇත්තේ කුඩු අංජුගේ මත්කුඩු ජාවාරම ඩුබායි හි සිට මෙහෙය වන ධර්මසිරි පෙරේරා නැමැත්තා ලබාදෙන මත්කුඩු අලෙවි කර උපයා ගන්නා මුදල් මෙම ගිණුමේ තැන්පත් කරන බවයි.

ඒ අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව බෝකුන්දර පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන මෙම ගිණුම පොලිසිය පරීක්ෂා කර තිබෙනවා.

එහිදී හෙලි වී ඇත්තේ 2018 වසරේ දෙසැම්බර් මස සිට පසුගිය ජූනි 01 වැනිදා දක්වා මෙම ගිණුමෙන් රුපියල් ලක්ෂ 4900 ක මුදලක් හුවමාරු වී ඇති බවයි.

කෙසේ වෙතත්, මත්කුඩු සමඟ පුද්ගලයෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමත් සමඟ එම ගිණුම වසා දමා ඇත්තේ අවසන් වරට එහි ඉතිරිව තිබූ රුපියල් හත් ලක්ෂයකට ආසන්න මුදලද ලබාගනිමින්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *