ක්‍රිකට් තරගවලදී කෑම පාර්සල්වලිනුත් ගසා කාලා

ඕස්ට්‍රේලියා සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ගාල්ලේ පැවැති තරගවලදී ප්‍රවේශ පත්‍ර සහ ආහාර පැකැට්ටු මඟින් මුදල් වංචා කළ ගාලු ක්‍රීකට් සමාජයේ නිලධාරියෙකු පිළිබඳ විස්තර හෙළිවී තිබෙනවා.

2016 අගෝස්තු 4-8 දක්වා ගාල්ලේ සංවිධානය කළ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගයේ සහයට පැමිණි පිරිස් වෙනුවෙන් ලබාදුන් ආහාර පාර්සල් වලින් දිනකට එක් අයෙකුගෙන් රුපියල් 180ක වැඩිපුර මුදලක් එහි නිලධාරියකු වංචා සහගත ලෙස ආපසු ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ආහාර පැකැට්ටුව සඳහා තුන්වේලට රුපියල් 220ක් ලෙස ඇනවුම් භාරගෙන පසුව ඒ වෙනුවෙන් රුපියල් හාරසීයයක මුදලක් ක්‍රීඩා සමාජයෙන් ආපසු මේ නිලධාරියා ලබාගෙන තිබෙනවා.

දින තුනකට පමණක් මොහු ආපසු ලබා ඇති මුදල එක් අයෙකුගෙන් රුපියල් 180 බැගින් පැකට් 660ක් වෙනුවෙනි.

එහෙත් ආහාර සැපයූ ගාල්ල හබරාදුව මාර්ගයේ කටුකුරුන්දේ ජනක කේටරින් සර්විස් ආයතනයට තවත් රුපියල් 64,000ක මුදලක් ගෙවා නොමැති බවට එම ආයතනයද පැමිණිලි කර තිබෙනවා.

මේ අතර 2017 ජුනි මස 30වැනිදා පැවැති ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගයේදී ද අදාළ නිලධාරියා එකම අංක වලින් තරග ප්‍රවේශ පත්‍ර පොත් දෙක බැගින් මුද්‍රණය කරවා ගාල්ල ක්‍රිකට් ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ ඉහළ මාලයේ ටිකට් පත් රුපියල් දෙදෙහස බැගින්ද පහත මාලයේ ටිකට් රුපියල් දහස බැගින්ද පිටස්තරයන් මාර්ගයෙන් අලෙවි කර මුදල් ලබා ඇතැයි හෙළිව තිබෙනවා.

මීට අමතරව මොහු ටිකට්පත් 500ක් රුපියල් 300 බැගින් ද, ටිකට්පත් 300ක් රුපියල් 500 බැගින් ද අලෙවිකර ඇතැයි වාර්තා වනවා.

මේ ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කර ඇත්තේ ගාල්ල දිවුල්ගස් හන්දියේ මුද්‍රණාලයකය.

මේ කරුණු පිළිබඳව වසර එකහමාරක් පරීක්ෂණ පැවැත්වුවත් මෙතෙක් එහි වාර්තා හෙළිකර නොමැති වීම විශ්මයට කරුණක් වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *