සැරයන් බොනට්ටුවේ සිටියදී කාරය පැදවූ සැකකරු හඳුනාගනියි

පොලිස් සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුව මත එල්ලී සිටියදී මෝටර් රථය කිලෝමීටරයක් පමණ දුරක් රැගෙන ගොස් සැරයන්වරයා ව බිමට වැටීමට සලස්වා පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හඳුනාගත් බව නුගේගොඩ කොට්ඨාස ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

රාජගිරිය ඔබේසේකරපුර හන්දියේ දී තී රෝද රථයකින් පැමිණි පුද්ගලයකු හොරෙයින් මත්කුඩු පාර්සල් දෙකක් සුඛෝපභෝගී මෝටර් රථයක ට ලබා දෙන අයුරු නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට නෙත ගැටීමත් සමගම වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් තිරෝද රථය වටකර ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන අනතුරුව මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම සිද්ධිය වී තිබිණි.

මේ අවස්ථාවේදී අත්අඩංගුවේ සිටි තීරෝද රථ රියැදුරු ද පලා ගොස් තිබූ අතර මෝටර් රථයේ බොනට්ටුව මත සැරයන්වරයා සිටි දී පළා යමින් සිටි මෝටර් රථය පසුපස හඹාගොස් හෝ පියවරක් ගැනීමට වැටලීම් කණ්ඩායම භාරව සිට පොලිස් නිලධාරියා විසින් කිසිදු පියවරක් නොගෙන තිබූ බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පළා ගිය මෝටර් රථයේ ලියාපදිංචි අංකය සී. සී. ටී. වී. දර්ශන ඔස්සේ ලබාගෙන සිදුකළ විමර්ශනවලදී පලා ගිය එම පුද්ගලයා නුගේගොඩ මිරිහාන උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවට අනාවරණ වී තිබුණි.

ඒ අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් පලාගිය සැකකරු ට අයත් බව කියන ඉඳිකරමින් පවතින සුඛෝපභෝගී තෙමහල් නිවස වටලා සිදුකළ පරීක්ෂාවේදී පලාගිය සැකකරු නිවසේ නොසිටීම හේතුවෙන් එහි සිටි කාන්තාවන් දෙදෙනා ගෙන් ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී තම සහෝදරයා පෙරේදා (19) ඔහුගේ බිරිඳ සමග නිවසින් පිට වූ බවත් සිටින තැනක් හෝ දුරකථන අංකයක් නොදන්නා බවත් ප්‍රකාශ කර ඇත.

සැකකරු මීට කලකට පෙරදී ගිනි අවියක් සමග පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙක් බවත් මත් මුද්දර සහ මත් පෙති ජාවාරම සිදු කරන්නෙක් බවත් පොලිසිය කියයි.

මේ අතර අනතුරට ලක් වූ පොලිස් නිලධාරියා දිවි පරදුවට තබා සිදුකළ ක්‍රියාව පැසසුමට ලක් කිරීම පසෙකලා එම නිලධාරියා මෝටර් රථයේ බොනට්ටුව මත වැටුණු බව හඟවමින් ජේෂ්ඨ පොලිස් නිලධාරීන් නොමඟ යැවීමට එදින වැටලීම් කණ්ඩායම භාරව ගිය පොලිස් පරීක්ෂකවරයා විසින් ව්‍යාජ තොරතුරු ලබා දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරට ලක් වූ එම නිලධාරියා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සම්බන්ධයෙන් දක්ෂතා දැක් වූ නිලධාරීයෙකූ බව ද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

පලා ගියද සැකකාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි නුගේගොඩ කොට්ඨාසයේ ජේෂ්ඨ පොලිස් නිළධාරියකු වැඩිදුරටත් පැවසීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *