සාමූහික එකඟතාවකින් ජනපති, අගමැති තෝරමු – පැෆරල්

මේ මොහොතේ ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික, දේශපාලන හා සමාජ අස්ථාවරභාවය පිළිබඳව හා එම තත්ත්වය වෙනස් කිරීම සඳහා දේශපාලන පක්ෂ නායකයින් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ඔබට ඇති අත්හල නොහැකි වගකීම මෙතෙක් තේරුම් නොගත් මහජන නියෝජිතයින් සිටින බව ඔවුන්ගේ හැසිරීම් වලින් පැහැදිලිවේ.

මේ මොහොතේ අප සියලූම දෙනා එක්ව කටයුතු නොකලහොත් දේශපාලකයින් වන ඔබ හා පුරවැසියන් වන අප හැම විනාශය කරා ඇදීයාම වැළැක්වීමට කිසිවකුට නොහැකි වනු ඇත. ඉදිරි කාලය තුළ කවුරුන් රාජ්‍ය පාලනය ලබාගත්තද ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට සිදුවන අතර පුරවැසියන් වන අප සෘජුව මෙම ව්‍යසනයට වගනොකිවයුතු වුවද පුරවැසියන්ටද විශාල කැපකිරීමක් සිදුකිරීමට සිදුවනු ඇත.

එබැවින් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා තෝරාගැනීමේදී පහත සඳහන් කරුණු කෙරෙහි පක්ෂ නායකයින් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඔබ සියලූ දෙනාගේම අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිමු.

1.අන්තර්කාලීන ආණ්ඩුවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා තෝරාගැනීමේදී දේශපාලන පක්ෂ සියල්ල සමග එකගතාවයකින් තෝරාගත යුතුය. කිසිදු හේතුවක් මත ඒ සඳහා ඡන්ද විමසීමකට යාමෙන් වළකින්න.

2.එසේ තෝරාගැනීමේදී ඒ ඒ දේශපාලන පක්ෂවලට පාර්ලිමේන්තුවේ ඇති සංඛ්‍යාත්මක බහුතරය පමණක් සලකාබැලීමෙන් වළකින්න.

3.දේශපාලන පක්ෂ අතර කිසිදු භේදයක්, එකගතාවයක් ඇතිවන ආකාරයේ කටයුතු කිරීමෙන් හා අදහස් ප්‍රකාශ කිරීමෙන් වළකින්න.

4.පෞද්ගලික න්‍යාය පත්‍ර, දේශපාලන න්‍යායපත්‍ර හෝ පටු පක්ෂ, බල න්‍යායපත්‍ර පසෙක තබා රටත් ජනතාවත් ප්‍රමුඛත්වයෙහිලා කටයුතු කරන්න.

5.ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් මේ අසීරු මොහොතේ තීරණ ගැනීමෙන් වළකින්න.

6.ඉදිරි කැබිනට් මණ්ඩලය තෝරාගැනීමේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂවලින් එක් අයෙකු හෝ ඇතුළත් කරගැනීමට වගබලාගන්න.

7.එමෙන්ම කැබිනට් මණ්ඩලය තෝරාගැනීමේදී ඇති ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුද විසඳීමට හා අන්තර්ජාතික තත්ත්වයන් කළමණාකරණය කරගැනීමට සාධනීය දායකත්වයක් ලබදිය හැකි ජනතාවගේ අප්‍රසාදයට පත්නොවූ අය තෝරාගැනීමට වගබලාගන්න.

8.සර්ව පාක්ෂික ආණ්ඩුවක ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කැබිනට් අමාත්‍ය ධුරයකට ඔබට ආරාධනා කලහොත් එය ප්‍රතික්ෂේප කිරීමෙන් වළකින්න.

ඉහත කරුණු පිළිබඳව සියලූම දේශපාලන පක්ෂවල අවධානය යොමුවිය යුතු බවට අප විශ්වාස කරමු. එමෙන්ම කැබිනට් මණ්ඩලය තෝරාපත්කරගැනීමේදී සාම්ප්‍රදායික බවෙන් මිදුනු අර්බුද කළමණාකරණය පිළිබඳව පරිචයක් ඇති අවදානම ගැනීමට සූදානම්, නිර්මාණශීලී කණ්ඩායමක් තෝරාගැනීම කෙරෙහි දේශපාලන පක්ෂවල අවධානය යොමුවිය යුතුය.

එසේ නොවුනහොත් පවතින අර්බුදය තවත් තීව්‍ර වී රට නැවත ගොඩගැනීමට නොහැකි විශාල අර්බුදයක් කරා යෑම කිසිවෙකුටත් නොවැළැක්විය හැකිවනු ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *